වවුනියාවේ දිසා ලේකම් ප්‍රශ්නය යළිත්

Image copyright Getty
Image caption දෙමළ භාෂාව කතා නොකරන අයකු දිසාපතිවරයා වශයෙන් පත් කිරීම තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ඔහුට තේරුම් ගැනීමට නොහැකි බැවින් දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ

දෙමළ බහුතරයක් වෙසෙන වවුනියාව දිස්ත්‍රික්කයට දෙමළ කතා නොකරන දිසාපතිවරයකු පත් කිරීම හේතුවෙන් වවුනියාවට අලුතෙන් පත් කළ දිසාපතිවරාගේ පත් වීම පිළිනොගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය එම් තීන්දුවට පැමිණ ඇත්තේ එම පක්ෂයේ පාර්ලිමේන්තු සහ උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද බදාදා වවුනියාවේදී සිදු කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුවයි.

දෙමළ භාෂාව කතා නොකරන අයකු දිසාපතිවරයා වශයෙන් පත් කිරීම තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ඔහුට තේරුම් ගැනීමට නොහැකි බැවින් දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ.

උතුරු පළාත් සභාවේ සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් පැවසුවේ වව්නියාව දිස්ත්‍රික්කයේ මීට ඉහත සිටි දිසාපතිවරයා ජනතාවට සේවය නොකිරීම හේතුවෙන් ඔහු වෙනත් ප්‍රදේශයකට මාරු කොට යවන මෙන් උතුරු පළාත් සභාව යෝජනාවක්ද සම්මත කළ බවයි.

නොතකා හැරීම්

පසුව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා වෙතත් මෙම අසාධාරණය සැල කළ සිටි බවයි පළාත් අමාත්‍යවරයා කියා සිටියේ.

නමුත් අලුතින් පත් කළ දිසාපතිවරයාද දෙමළ භාෂාව කතා නොකරන බැවින් දෙමළ ජාතික සන්ධානය කළ ඉල්ලීම රජය විසින් නොසලකා හැර ලැබ ඇති බවද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

වවුනියාව දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ බන්දුල හරිස්චන්ද්‍ර රත්නපුරයට මාරු කොට යවා ඇති අතර වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් පත් කොට ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාරයි.

Image copyright AjithLal ShanthaUdaya
Image caption වව්නියා දිසාපති පදවියට පත් කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර (දකුණේ )

නව දිසාපතිවරයාගේ පත් කිරීම තමන්ට පිළිගත නොහැකි නිසා ඒ වෙනුවෙන් රජය යළි දැනුවත් කොට දෙමළ ජනතාවට යම් සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමටත් වවුනියාවේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

හමුදාවට බල කෙරෙන උද්ඝෝෂණයක්

මේ අතර වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය යුද හමුදාව විසින් අත්තනෝමතික ලෙස යොදා ගනිමින් දින කීපයක් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වූ අවස්ථාවේදී බරවාහන ඇතුල් කොට එම ක්‍රීඩාංගණය විනාශ කළ බව කියමින් වවුනියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් අද බදාදා උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂණයේ යෙදුණු පිරිස කියා සිටියේ වර්ෂාව මැද ක්‍රීඩාංගණයට බරවාහන ඇතුළු කිරීම හේතුවෙන් ඉතා අපහසුවෙන් අරමුදල් රැස් කොට රුපියල් ලක්ෂ හැත්තෑවක පමණ වියදමකින් ඉදි කළ ක්‍රිකට් තණ තීරුව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

බරවාහන ගමන් කිරීම හේතුවෙන් ක්‍රීඩාංගණය පුරාම විශාල වළවල් ඇති වී ඇතැයි පවසන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කඩිනමින් ක්‍රීඩාංගණය අලුත්වැඩියා කොට දීමට යුද හමුදාවට බල කරන මෙන් වවුනියාව නගර සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.