කෝප් කමිටුවේ සාධනීය වෙනසක් - හඳුන්නෙත්ති

Image copyright JVP Media Unit
Image caption 'කිසිදු බලපෑමකට හෝ බැඳියාවකට යටත් නොවී සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වෙනවා'

කෝප් පොදු ව්‍යාපාර කාරක සභාව විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු කිසිදු පියවරක් නොගත් බව පවසන කමිටුවේ නව සභාපතිවරයා, කමිටුවේ චෝදනාවලට ලක්වූවන් ඇතැම් අවස්ථාවල අමාත්‍ය පදවිවලින් පවා පිදුම් ලැබූ බවත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඒ බව කියා සිටියේ කෝප් කමිටුවේ සභාපති පදවියට තේරී පත්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

වාර්තාවක් සකස් කිරීම හැර ඉන් ඔබ්බට කිසිවක් සිදු නොවූ බව කාරක සභාවේ සාමාජිකයකු ලෙසින් මෙතෙක් තමන් ලැබූ අත්දැකීම බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

"වාර්තා ඉදිරිපත් කරලා තියෙනව විජේදාස රාජපක්ෂ සභාපතිවරයා යටතේ කෝටි 15,000 ක වංචා, දූෂණ සම්බන්ධයෙන්, ඒ වගේම අනෙමුත් සභාපතිවරු. නමුත් ඒවාට ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ," ඔහු පැවසීය.

Image caption ඩිව් ගුණසේකර අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පැවති කෝප් කමිටුවද රාජ්‍ය ආයතන ගණනාවක දූෂණ අනාවරණය කළේය

එම තත්වය වෙනස් කිරීම පිණිස සාධනීය මැදිහත් කිරීමක් කිරීමට සිය සභාපති ධුරය යටතේ උත්සාහ කරන බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසන්නේ.

එවැනි වෙනසක් සිදු කරන්නේ කෙසේ දැයි සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, සිවිල් සමාජය සහ ජනතාවට එහිදී ප්‍රබල වගකීමක් පැවරෙන බවයි.

"අපේ යෝජනාව තමයි මුලින්ම ස්ථාවර නියෝග සංශෝධනය කරලා මේ ආයතනවල ක්‍රියාකාරිත්වය මාධ්‍යවලට නිරාවරණය වෙන්න ඕන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන හුදෙක් කාමරගත කරපු සාකච්ඡාවලට එහා ගිහිල්ල යම් ක්‍රියාමාර්ගවලට යන්න."

Image copyright my3manifesto.com
Image caption 'පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරිත්වය මාධ්‍යවලට නිරාවරණය විය යුතුයි'

විශේෂයෙන්ම රජයේ ආයතනවලට ගොස් පරීක්ෂා කිරීමේ බලය දැනටමත් පොදු ව්‍යාපාර කාරක සභාව සතුව පවතින බව පවසන නව සභාපතිවරයා, කෙසේ නමුත් පසුගිය සමයේ එම බලය ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂ පරිපාලනය යටතේ රජයේ ආයතන දැඩි දේශපාලනීකරණයට ලක් වූ බව පෙන්වාදෙන මන්ත්‍රීවරයා, නව පාලනය යටතේ පවා ඒ තත්වයේ වෙනසක් දකින්නට නොමැති බවත් සඳහන් කළේය.

කෙසේ නමුත් කමිටුවේ සභාපති පදවිය දරන කාලසීමාව තුල කිසිදු බලපෑමකට හෝ බැඳියාවකට යටත් නොවී දූෂණයට සහ වංචාවට එරෙහිව සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගීමට හැකිවනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර