කොකුවිල් ශිෂ්‍යයා වෙනුවෙන් යාපනයේ උද්ඝෝෂණ

දහඅට හැවිරිදි දෙමළ ශිෂ්‍යයෙක් කොකුවිල් ප්‍රදේශයේ ධාවනය වෙමින් පැවති දුම්රියකට පැන සිය දිවි හානි කර ගෙන ඇත.

‘කෝපායි’ පොලිස් වසමේ වැසියකු වන කොකුවිල් හින්දු විදුහලේ ශිෂ්‍යයා අද (26) උදෑසන අටට පමණ දුම්රියට පැන ඇති බවයි, මේ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමක දී පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

දිවි නසා ගත් ශිෂ්‍යයාට අයත් සටහන් පොතක් එම ස්ථානයෙන් හමු වී ඇති අතර ‘සියලු දේශපාලන සිරකරුවන් මුදා හැරිය යුතු බව පැවසෙන’ සටහනක් එහි ලියා තබා ඇත.

‘දෙමළ ඊලමට නිදහස් දෙන ලෙසත්’ එම සටහනෙහි ලියා ඇත.

යාපනයේ කළු කොඩි

දුම් රියකට පැන සිය දිවි හානි කර ගත් සිසුවා දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් කර ඇති ඉල්ලීම කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මේ අතර උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි බවක් ද වාර්තා වෙයි.

කළු කොඩි ඔසවමින් උද්ඝෝෂණයේ නිරත වූ සිසුන් කියා සිටියේ රජය පොරොන්දු වූ පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු නොකළ නිසා මෙවැනි අවාසනාවන්ත ජීවිත හානි සිදු වන බවයි.

මෙවැනි බැරෑරුම් හා අවාසනාවන්ත සිදුවීම් යළිත් සිදු වන්නට පෙර තවමත් බන්ධනාගාරවල සිටින ඉතිරි දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරණ ලෙසත් සරසවි ශිෂ්‍යයෝ රජයට බල කළහ.

ශිෂ්‍යයා සිය දිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.