පසුගිය රජය මහින්ද මරන්න ආපු බෝම්බ කරුවනුත් නිදහස් කළා-අධිකරණ ඇමති

Image caption අධිකරණ ඇමතිවරයා දෙමළ සිරකරුවන් හමු වූ අවස්ථාවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බරපතළ චෝදනාසම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රැඳවියන් අවස්ථා ගණනාවක දී නිදහස් කළ පසුගිය රජයේ නායකයන් දෙමළ සිරකරුවන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබීම ගැන වත්මන් රජයට චෝදනා කිරීම හුදෙක් දේශපාලන වාසි තකා සිදු කරන ක්‍රියාවක් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනයට පැමිණි බවට සැක කොට අත්අඩංගුවට ගනු ලැබුණ පුද්ගලයන් පවා පසුගිය රජය යටතේ කිසිදු නීතිමය කටයුත්තකින් තොරව නිදහස් කළ බවයි අධිකරණ ආමාත්‍යවරයා පවසන්නේ.

‘එක වතාවක් 390 ක් නිදහස් කළා, තවත් වරක් 140 ක් නිදහස් කළා, 12,000 ක් ඉදිරි පෙළ සටන් කරුවන් පුනරුත්ථාපනය කර මුදා හැරියා. එම මුදා හැරීම් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වුනේ නැත්නම් දැන් තිස් නව දෙනෙක් ඇප මත මුදා හරිනු ලැබීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රශ්න කරයි.

දැඩි ඇප කොන්දේසි

Image caption දෙමළ සිරකරුවන්ගේ නිදහස පතා

පසුගිය රජයත් රැඳවියන් නිදහස් කිරීම මගින් වරදක් කළ බවක් තමන් ප්‍රකාශ නොකරන බවයි ඇමතිවරයා අවධාරණයෙන් කියා සිටියේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් 204 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ සිටින බව පැවසූ අමාත්‍යවරයා, එයින් 56 දෙනෙකු චෝදනා වලට වැරදි කරුවන් වී ඇති බවත්, 124 දෙනකුට එරෙහි නඩු විභාග වෙමින් පවතින අතර තවමත් චෝදනා ඉදිරිපත් නොකොට පරීක්ෂණ පැවැත්වෙන සැකකරුවන් විසි හතර දෙනකු ද සිටින බවයි සඳහන් කළේ.

‘දැඩි ඇප කොන්දේසි මත අපි 39 දෙනෙකු නිදහස් කරලා තියෙනවා, තවත් විස්සක් හඳුනා ගෙන තියෙනවා- පුනරුත්ථාපන වැඩ පිළිවෙලක් අනුව නිදහස් කරන්න.ඔවුන් බරපතළ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් නොවෙයි’ අධිකරණ ඇමතිවරයා පවසයි.

බරපතළ වැරදි ගණයට වැටෙන්නේ කුමන වැරදි දැයි විමසූ විට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ සිවිල් ජනතාව ඉල්ල කර ගනිමින් බස් රථවල, ප්‍රසිද්ධ ස්ථානවල බෝම්බ ප්‍රහාර එල්ල කිරීම,ප්‍රබල දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පිපිරවීම වැනි අපරාධ බරපතල වැරදි වන බවයි.

බරපතළ වැරදි

එවැනි අපරාධවලට සම්බන්ධ කිසිවකු නිදහස් නොකරන බව කියා සිටි අමාත්‍යවරයා, ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කලේ LTTE සැකකරුවන්ට නවාතැන් දීම වැනි වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුණ සැකකරුවන්ට පමණක් වන බවයි.

Image caption දෙමළ සිරකරු නිදහස වෙනුවෙන් මන්නාරම පාගමනක්

අත්අඩංගුවේ සිටින සැකකරුවන් මුණ ගැසුණු අවස්ථාවේ ඔවුන් මතු කළ අදහස් පිළිබඳව මාධ්‍ය හමුවේ දී තොරතුරු ඉදිරිපත් කළ අධිකරණ අමාත්‍යවරයා ‘ආණ්ඩුව LTTE ඉදිරි පෙළ නායකයන්ට විශේෂ වරප්‍රසාද සලසමින් තමන්ට පමණක් එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කුමක් නිසාදැයි’ සිරකරුවන් ප්‍රශ්න කළ බවයි අනාවරණය කළේ.

‘අපට අණ දුන් නායකයන් ආණ්ඩුවේ ඇමති ධූර දරමින් රජයේ විශේෂ වරප්‍රසාද ලබමින් ඉන්න අතර ඇයි අපට විරුද්ධව විතරක් නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා රැඳවියන් ප්‍රශ්න කළා’ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සඳහන් කළේය.

ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා වන ආණ්ඩුවේ වැඩසටහනට ශක්තියක් වශයෙන් ඇතැම් සැකකරුවන් ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් අමාත්‍යවරයා පවසයි.

නව පනතක්

Image caption දෙමළ සිරකරුවකුගේ දෙමව්පියන් සිය දරුවාට නිදහස ඉල්ලා සිටි අවස්ථාවක්

‘ජාතික ආරක්ෂාව පිළිබඳ පූර්ණ වගකීම භාර ගනිමිනුයි ඒ සියල්ල වගකීමක් ඇතිව ආණ්ඩුව ඉටු කරන්නේ’ අධිකරණ ඇමතිවරයා කියා සිටියි.

රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ දැනට ජාත්‍යන්තර නීතියේ පිළිගත් සම්මතයන්ට අනුව අලුත් පනතක් සම්මත කර ගනු ලැබීමෙන් පසුව යයි සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා ‘දැනට ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාත්‍යන්තර නීතියේ පිළිගත් සම්මතයන්ට අනුකූල නොවන බව ජාත්‍යන්තරයේ මතය වී ඇති බවත් පෙන්වා දුන්නේය.