නල්ලූර් කෝවිලේ මහවිරු සමරුවක්

Image copyright AFP
Image caption සංරක්ෂිත සේයා රුවකි

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ඇතුළු කණ්ඩායමක් අද (27) යාපනයේ නල්ලූර් කෝවිල ඉදිරිපිට පහන් දල්වමින් යුද්ධයේ දී මරණයට පත් ජනතාව සිහිපත් කළහ.

ආණ්ඩුවේ බුද්ධි අංශ නිලධාරීන් සාමාන්‍ය ඇඳුමින් සැරසී බලා සිටි නමුත් එම සමරු මෙහෙයට කිසිදු අවහිර කිරීමක් සිදු නොකිරීම විශේෂත්වයක් විය.

මේ අතර උතුරේ සියලුම දෙමළ පාසල් වලට අද (27) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට උතුරු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

යුද්ධයේ දී මරණයට පත් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන මහවිරු සමරු වැඩ සටහන් මගින් පාසල් සිසුන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම සහ,දුම්රියකට පැන සිය දිවි හානි කර ගත් පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කෙරෙන අතරවාරයේ එම ශිෂ්‍යයා වෙනුවෙන් ශෝකය පළ කිරීම පිණිස එම පාසල් නිවාඩුව ලබා දෙන බවයි, උතුරු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ.

පාසල් නිවාඩුවක්

Image copyright np.gov.lk
Image caption උතුරු අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වසා දැමීම සඳහා නිකුත් කළ චක්‍රලේඛනය

උතුරේ අධ්‍යාපන බලධාරීන් ‘මහවිරු දිනයට සහාය පළ කිරීම සඳහා පාසල් වසා දැමීමට පියවර ගෙන ඇතැයි’ පවසන උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධර්මපාල සෙනෙවිරත්න එම තීරණයට විරෝධය පළ කර ඇත.

පාසල් වසා දැමීමට ප්‍රධාන හේතුව සිසුන්ගේ වාරාවසාන විභාග නිමාවට පත්වීම යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

නල්ලූර් කෝවිල ඉදිරිපිට පහන් දල්වමින් මහවිරු දිනය සැමරූ පිරිස සම්බන්ධයෙන් නීතිමය පියවරක් නොගත්තේ ආගමික ස්ථානයකට ගොස් මියගිය ඥාතීන් පිරිසක් වෙනුවෙන් පහන් දල්වන කණ්ඩායම් අත් අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික බලයක් නොමැති නිසා බවත් පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

Image copyright bb

සිසු මරණය දුම්රියට පැන සිය දිවි හානි කර ගත් සිසුවා විසින් ලියන ලද ලිපිය ඔහුගේම අත් අකුරෙන් ලියන ලද්දක් වන බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවූයේදැයි විමසූ විට පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කළේ පොලිසිය එවැනි පරීක්ෂණයක් නොකළ බවයි.

සිය දිවි නසා ගත් ශිෂ්‍යයා වෙනත් අපරාධයකට සම්බන්ධ නොමැති අතර ඔහුගේ මරණය සිය දිවි හානිකර ගැනීමක් බව සාක්කි මගින් ඔප්පු වී ඇති හෙයින් දීර්ඝ පරීක්ෂණයක් අනවශ්‍ය බවයි, පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසන්නේ.