අන්තවාදයට එරෙහි වීම අපේ පරපුරේ අරගලයයි-කැමරන්

Image copyright Reuters
Image caption අගමැති ඩේවිඩ් කැමරන්

ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ප්‍රතිචාරය දැක්වීම අතින් පොදු රාජ්‍ය මණ්ඩලයට ප්‍රධාන සහ තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ මෝල්ටාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අමතමින්.

පැතිර යමින් පවතින ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ගනු ලබන ක්‍රියා මාර්ගයන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් විග්‍රහ කරන ලද්දේ ‘අපේ පරම්පරාවේ අරගලය’ හැටියටයි.

මෝල්ටා සමුළුව මේ වන විට පෙරට යමින් ඇති අතර මෙවර සමුළුවට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් පනස් තුනක නායකයන් සහභාගී වෙමින් සිටිති.

Image copyright Sudath Silva President Media Unit
Image caption ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද මෝල්ටා සමුළුව ඇමතීය

අද සමුළුව ආරම්භ කෙරුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායිකාව වන බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ සහභාගිත්වයෙන්.

සමුළුවේ ප්‍රධාන ඉලක්ක සිහිපත් කරමින් අදහස් දැක්වූ එලිසබත් රැජින ජගත් ප්‍රශ්න වල දී සැබෑ නායකත්වයක් දීම පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල වගකීමක් වන බවයි කියා සිටියේ.

පසුගිය වසර දෙක තුළ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති පදවිය දැරූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමුළුව අමතමින් කියා සිටියේ, සංවර්ධනයේ තිරසාර පදනම රටක තරුණ ප්‍රජාව වන බවයි.

ප්‍රචණ්ඩ අන්තවාදය සහ මිහිතලයේ දේශගුණ විපර්යාෂයන් කෙරෙහි මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව අවධානය යොමු කරයි.