‘ආරක්ෂාව ගැන මැසිවිලි පළ කරන්නේ අන්තවාදී කණ්ඩායම්’

Image copyright b
Image caption ආරක්ෂක ලේකම්වරයා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අනතුරක් එල්ල වෙමින් පවතින බවට අදහස් කටකතා වපුරා හරිනු ලබන්නේ රටතුළ සහ රටින් පිටත සිටින අන්තවාදී කණ්ඩායම් විසින් වන බව ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ‘දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කරන ඇතැම් කණ්ඩායම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ කටකතා පතුරුවමින් සිටින’ බවයි.

එවැනි ප්‍රකාශන වල කිසිදු සත්‍යතාවයක් නැතැයි සඳහන් කළ ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි රජය ‘ජාති සහ ආගම් භේදයෙන් තොරව රටේ පුරවැසියන්ට ඔවුන්ගේ උත්සව සහ සැමරුම් වලට අවසර දී ඇති අතර එහෙත් ඇතැම් පුද්ගලයන්ට ඒවා බලහත්කාරයෙන් නතර කරවීමේ උවමනාවක් ඇති’ බවයි කියා සිටියේ.

Image copyright Getty

‘රජය ජනතාවගේ එවැනි අයිතිවාසිකම් වලට අවහිර කරන්නේ නැහැ. එවා සාමකාමීව පැවැත්වීමට අවසර දී තිබෙනවා.ඒ අතරම අපි රටේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කළ යුතුව තියෙනවා. රටේ සාමය කඩ නොවන ආකාරයට එම කටයුතු සඳහා ඉඩ දෙන මෙන් අපි පොලිසියට උපදෙස් දී තිබෙනවා’ ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

බියවැද්දීම් එපා

එසේම ඕනෑම අවශ්‍ය මොහොතක පොලිසියට සහයෝගය දීමට යුද හමුදා සූදානමින් තබා සිටින බවත් ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි කියා සිටියි.

රටේ ආරක්ෂාවට අනතුරක් එල්ල වෙමින් පවතින බවක් පවසමින් ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන ප්‍රකාශන මහ ජනතාව බියවැද්දීමක් වන බවයි ලේකම්වරයා සඳහන් කළේ.

Image copyright Defence.lk

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව බීබීසිය පෙන්වා දුන් විට ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි ඒවා විග්‍රහ කළේ ‘පදනම් විරහිත ‘ ප්‍රකාශන හැටියටයි.

‘ඇතැම් දමිළ සිරකරුවන් මුදා හැරීමට පියවර ගෙන තිබෙන්නේ නීතිය අනුවයි. නීතිය සහ අධිකරණ ක්‍රියාමාර්ගයක් අනුවයි එම පියවර ගෙන තිබෙන්නේ’ ආරක්ෂක ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.