උතුරු පළාත් සභාව: 'මන්ත්‍රී ආරක්ෂාව ඉවත් කරලා'

Image copyright np.gov.lk
Image caption උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම්

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට මෙතෙක් ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව කිසිදු හේතුවකින් තොරව ඉවත් කොට ඇති බැවින් වහාම යළි එම ආරක්ෂාව ලබා දෙන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ පිළිබඳව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් හතර දෙනාට සපයා දී තිබූ පොලිස් ආරක්ෂාව හදිසියේම ඉවත් කොට ඇතත් ඒ සදහා බල පෑ හේතුව සඳහන් වී නොමැති බවයි.

පොලිස් ප්‍රතිචාරය

මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ පොලිස් ආරක්ෂාව සපයා දීම හෝ ඉවත් කිරීම පිළිබදව තීන්දු තීරණ ගනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශය මගින් බවයි.

Image copyright Getty

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිස්තුනක් පමණ සිටියදී හතර දෙනෙකුට පමණක් පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ මන්දැයි විමසූ විට සභාපතිවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටීමට අයිතියක් ඇතත් තමන්ගේ අභිමතය අනුව පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පමණක් බවයි.

උදාහරණයක් ලෙස තමන් පොලිස් ආරක්ෂාව නොඉල්ලා සිටි බැවින් තමන්ට පොලිස් ආරක්ෂාව නොලැබුණු වගද සභාපතිවරයා පැවසීය.

විවිධ තර්ජන

උතුරු පළාත තුළ ඉතා සාමකාමී පරිසරයක් ඇති මොහොතක මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය වන්නේ මන්දැයි විමසූ විට සිවඥාණම් සභාපතිවරයා කියා සිටියේ පොලිස් ආරක්ෂාව ලබාගත් මන්ත්‍රීවරුන් හතර දෙනාම ඔවුන්ට ඇති විවිධ තර්ජන හේතුවෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි.

නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව මීට දින කීපයකට පෙර ඉවත් කළ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීම මත යළි පොලිස් ආරක්ෂාව සපයා දී ඇති අන්දමට උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හතර දෙනාට යළි පොලිස් ආරක්ෂාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.