මහේස්ත්‍රාත්ගේ අලි පැටවාට 'මුල් අයිතිකරුවෙක් නෑ'

Image copyright AP

වන ජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටින සිය අලි පැටවා මුදා හරින මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ ඉදිරිපත් කල ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්‍ෂේප කළේය.

තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අධිකරණයට කියා සිටියේ සිය සේවා දායකයා චන්ද්‍රරත්න යටවර නමැති පුද්ගලයකුගෙන් මෙම අලි පටවා මිල දී ගෙන ඇති බවයි.

සිය සේවාදායකයා මිලදී ගෙන තිබෙන්නේ ලියාපදිංචි අලි පැටවකු බව කියා සිටි නීතිවේදියා ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළේය.

'චන්ද්‍රරත්න යටවර?'

ඉල්ලීමට විරුද්ධ වෙමින් රජයේ නීතිවේදියා කියා සිටියේ චන්ද්‍රරත්න යටවර නමැති පුද්ගලයකු නොමැති බවට පොලිසිය සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

Image copyright Getty
Image caption සංරක්‍ෂිත ඡායාරූපයක්

ඉල්ලීම ඉදිරිපත් කරන මහේස්ත්‍රාත්වරයා චන්ද්‍රරත්න යටවර නමැති පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළහොත් වහා අලි පැටවා මුදාහැරීමට පියවර ගන්නා බවයි රජයේ නීතිවේදියා කියා සිටියේ.

කෙසේ වෙතත් එවැනි පුද්ගලයකු නොමැති නිසා ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා අපොහොසත් වී ඇති බව ද රජයේ නීතිවේදියා පැවසීය.

රහස් පොලිසිය

එම අවස්ථාවේ තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා කියා සිටියේ නීතියට අනුව අලි පැටවා යළි ලබා ගැනීම් සඳහා එම අලි පැටවාගේ මුල් අයිතිකරු ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවයි.

නිසි ලියාපදිංචියක් නොමැතිව අලි ඇතුන් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් දා රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළේය.

එම පරීක්ෂණය යටතේ නිසි ලියාපදිංචි ලේඛන ඉදිරිපත් නොකිරීමේ හේතුව මත තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ අලි පැටවා ඇතුළු අලි ඇතුන් විසිපස් දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.