ශ්‍රී ලංකාව: සතියකට එච්අයිවී ආසාදිතයන් හතර දෙනෙක්

මේ වන විට ශ්‍රී ලංකාවේ 587 දෙනෙකුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවත් ඉන් 357 දෙනකු මියගොස් ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන කාර්යාංශය පවසයි.

ඔවුන් මෙම දත්තයන් ප්‍රකාශයට පත් කළේ ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මඩකලපුවේ පැවති ජාතික උත්සවයකදී යි.

මෙහි දී සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් කතා කළ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියේ සමස්තයක් වශයෙන් සතියකට එච් අයි වී ආසාදිතයන් හතර දෙනෙකු සොයා ගන්නා බවයි.

බහුතරය පුරුෂයන්

Image copyright

‘අපි මේ වන විට සතියකට එච් අයි වී ආසාදිතයන් හතර දෙනෙකු සොයා ගන්නව. හැබැයි අපි හොයා ගන්න ඕන නව දෙනෙක්. අපි අඩුවෙන් තමයි හොයා ගන්නේ. මොකද හේතුව? මේ එච් අයි වී ආසාදනයට වැඩි අවදානමක් පවතින අය වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී නොවන නිසා.’ ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන එච්අයිවී ආසාදිතයන්ගෙන් බහුතරය පුරුෂයන් වන අතර දැන් උතුරු නැගෙනහිර පළාත්වලින්ද රෝගීන් වාර්තා වන බවයි එම කාර්යාංශය පවසන්නේ.

කොළඹ ඉහලින්

Image copyright AFP

‘අවුරුදු 25ත් 49ත් අතර වයස් කාණ්ඩයේ අය සියයට හැත්තෑවක් ඉන්නවා. අවුරුදු 50ට වැඩි අය සියයට දහයක් පමණ සිටිනවා. වයස අවුරුදු 15ත් 25ත් අතර අයත් සියයට හතක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම සියයට හතරක් පමණ මවගෙන් දරුවාට බෝවුණු සිද්ධීන්.’ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

එච් අයි වී ආසාදිතයන්ගෙන් සියයට පනහකට වැඩි පිරිසක් සොයා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත යි.

එම ලැයිස්තුවේ කොළඹ දිස්ත්‍රික්කයට පහලින් අනුපිළිවෙලින් දැක්වෙන්නේ ගම්පහ, නුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කය යි.