ගල් ගසා මරා දැමුවොත් 'ආණ්ඩුවේ පරාජයක්'

Image caption ඇෆ්ඝනිස්තානයේදී කාන්තාවකට ගල් ගසා මරා දැමූ අවස්ථාවක්

සවුදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී සිටින කාන්තාව කිසියම් ලෙසකින් මරා දැමුවහොත් එය ආණ්ඩුවත්, සමස්ත ශ්‍රී ලංකාවත් ලබන පරාජයක් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

"යම් හෙයකින් මේ සහෝදරියට මේ කෲර දඬුවමට ලක්වෙන්න සිදුවුනොත්, ඒක මේ මුළු රටම ලබන පරාජයක්, ඒක මේ රජය ලබන පරාජයක්," නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමින්.

ශ්‍රී ලංකාවේ විරෝධය නොතකා එම කාන්තාවට එරෙහි දඬුවම ක්‍රියාත්මක වුවහොත් එය 'කෲර, අමානුෂික දඬුවම්වලට එරෙහි', එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන රටක් ලෙසින් ශ්‍රී ලංකාව ලබන ප්‍රබල පරාජයක් බවයි, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරන්නේ.

'යවන්න එපා'

ඇය මරා දමනු ලැබුවහොත්, ශ්‍රී ලාංකික කාන්තාවන් සවුදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්කිරීම වහාම නවතා දැමිය යුතු බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යෝජනා කළේය.

Image copyright Ajith P Perera
Image caption 'යම් හෙයකින් මේ සහෝදරියට මේ කෲර දඬුවමට ලක්වෙන්න සිදුවුනොත්, ඒක මේ මුළු රටම ලබන පරාජයක්, ඒක මේ රජය ලබන පරාජයක්'

දඬුවමට එරෙහිව දැනටමත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින්, විරෝධතා උද්ඝෝෂණ මගින් එයට අහිතකර බලපෑමක් ඇතිවනු ඇති බවයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තක්සින් සංදේශයට කියා සිටියේ.

බාල වියේදී සවුදි අරාබියේ මෙහෙකාර සේවයට යැවුණු රිසානා නෆීක් මීට වසර දෙකකට ඉහතදී සවුදි අරාබිය විසින් එල්ලා මරා දමනු ලැබුවේ ජාත්‍යන්තරව සහ ශ්‍රී ලාංකික ප්‍රජාව තුලින් මතුවුනු දැඩි විරෝධය සහ බැගෑපත් ඉල්ලීම් නොතකා හරිමින්.

රිසානා නෆීක් මරා දැමූ අවස්ථාවේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරමින් ඇය බේරාගැනීමට නොහැකිවීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දුර්වලතාවයක් ලෙසින් එදා තමා දුටු බවයි නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

වසර කිහිපයක් මුළුල්ලේ මරණ දඬුවමෙන් බේරීමට ප්‍රබල උත්සාහයක් දැරූ ඩීඩී රන්ජිත් ද සිල්වා, ඊජේ වික්ටර් කොරෙයා සහ සනත් පුෂ්පකුමාර ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාද ඊට වසර කිහිපයකට ඉහතදී සවුදි අරාබියේදී එල්ලා මරා දමා තිබුණි.

එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සවුදි අරාබියට එරෙහිව පියවර ගත යුතු බවයි බ්‍රහස්පතින්දා කොළඹ දී උද්ඝෝෂණයක යෙදුනු මානව හිමිකම් ක්‍රියාධරයන් බලකර ඉල්ලා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර