'චෙන්නායි' කාල ගුණය ශ්‍රී ලංකාවටත්

Image copyright Diyasena Rathugamage

නොකඩවා ඇද වැටෙන මහ වැස්සත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ජන ජීවිතය දුෂ්කර තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල බෙංගාල බොක්කේ පවතින අයහපත් කාලගුණය නිසා දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘චෙන්නායි’ අගනුවර සහ ඒ අවට දකුණු පලාත් ඉතා දරුණු ජල ගැලීම්වලට ගොදුරු වූ අතර එම අයහපත් කාලගුණය ශ්‍රී ලංකාව කෙරෙහිත් අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවට ඉන්දියානු කාලගුණ විද්‍යාඥයන් විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබයි තිබුණේ.

බීබීසී පොලොන්නරුව ප්‍රාදේශීය වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන පවසන්නේ, පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම අඩි දෙක බැගින් විවෘත කොට ජලය මුදා හරිමින් පවතින බවයි.

Image copyright b

පරාක්‍රම සමුද්‍රයේ අතිරේක ජලය එසේ මුදා හැරීමත් සමඟ මනම්පිටිය - ගල්ලෑල්ල ප්‍රධාන මාවත ජලයෙන් යට වී ඇති බවත් බීබීසී වාර්තාකාරිය පවසන්නීය.

මේ අතර කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පොලොන්නරුව-මඩකළපුව මාර්ගයත් ජලයෙන් යට වීමෙන් වාහන ගමනාගමනය දුෂ්කර වී ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන වැඩි දුරටත් පවසන්නේ.

පොළොන්නරුව සෝමාවතිය මාර්ගයේ ‘සුංගාවිල’ ජලයෙන් යට වීම නිසා සෝමාවතී පුදබිම කරා යාමට නොහැකි මට්ටමින් එහි ගමනා ගමනය ඇනහිට ඇති බවත් වාර්තා වෙයි.

දකුණත් අඩාලයි

Image copyright b

සාමාන්‍යයෙන් වැඩි වශයෙන් නියං කාලගුණ තත්වයක් පවතින දකුණු පළාතේ රුහුණේ ප්‍රදේශ කීපයක් ද මහ වැස්සත් සමඟ දුෂ්කර තත්වයකට පත් වී ඇත.

ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ, හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින අධික වැසි හමුවේ ප්‍රදේශ රැසක් වැසි ජලයෙන් යට වී ඇති බවයි.

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීමෙන් රථ වාහන ගමනා ගමනය දුෂ්කර වූ අතර ප්‍රදේශයේ නිවාස කීපයක් ජලයෙන් යට වූ අතර දිගටම ඇද වැටෙන වර්ෂාව මාස් කන්නයේ කුඹුරු වගාවට බල පා ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ.

Image copyright b

මාතර- තිස්ස ප්‍රධාන මර්ගයේ හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශය ජලයෙන් යට වීම නිසා ගමනාගමනයට බාධා විය.