අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල: 'ගැටළු සහගතයි'

Image copyright Getty
Image caption '2.72%ක ප්‍රමාණයක් නරකම අගයක් නොවෙයි. අපි යෝජනා කරලා තිබෙන ආකෘතිය තුළ සිදු වෙලා තිබෙනවා නම්'

අධ්‍යාපනය වෙනුවෙන් දල දේශීය නිෂ්පාදනයෙන් සියයට පහකට අධික ප්‍රතිශතයක් වෙන් කොට ඇති බව මෙවර අයවැයේ සඳහන් වුවත්, සැබවින්ම වෙන්කර තිබෙන්නේ ඊට වඩා අඩු ප්‍රතිශතයක් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

අයවැය යෝජනා ඉදිරිපත්වීමෙන් අනතුරුව සිය සංගමය ඒ පිළිබඳව විශේෂඥ වාර්තාවක් ලබාගත් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ ඔහු, ඒ අනුව ලබන වසර සඳහා අධ්‍යාපනයට වෙන් කර තිබෙන්නේ දල දේශීය නිෂ්පාදනයෙන් 3.7% ක් බව සඳහන් කළේය.

"ආණ්ඩුවෙන් ඉදිරිපත් කොට තිබෙන ගණන් හිලව්වලට අනුව ගත්තත් 3.7% ක ප්‍රතිශතයක් තමයි දල දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් වශයෙන් අධ්‍යාපනය සඳහා වෙන් වී තිබෙන්නේ," ඔහු පැවසීය.

'නරකම අගයක් නොවෙයි'

පාසල් ගොඩනැගිලි ඇතුළු භෞතික සම්පත් සඳහා වන ස්ථාවර වියදම් ද එයට ඇතුළත් කොට ඇති බැවින් අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇති ප්‍රතිශතය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ මතයයි.

Image caption 'ගුරු පුහුණුව සඳහා විශාල මුදලක් වෙන් කොට තිබෙනවා. ඒක හොඳ තත්වයක්. නමුත් එය නිර්වචනය කොට තිබෙන්නේ දැනට ගුරු පුහුණුව සම්බන්ධයෙන් පවතින අවශ්‍යතා තේරුම් අරන් නොවෙයි' (ගුරුවරුන්ගේ විරෝධතාවයක්)

"ඒ ස්ථාවර වියදම් ඉවත් කළ විට ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ දල දේශීය නිෂ්පාදිතයෙන් 2.72% ක ප්‍රමාණයක්."

අධ්‍යාපනය සඳහා පසුගිය වසරේ වෙන් කොට තිබූ ප්‍රතිශතය 1.97% ක් බව පෙන්වා දෙන ඔහු, ඒ අනුව බලන විට මේ වසරේ වෙන් කර තිබෙන මුදල සියට තිස් එකකින් වැඩි වී ඇති බවත් සඳහන් කරයි.

"2.72%ක ප්‍රමාණයක් නරකම අගයක් නොවෙයි. අපි යෝජනා කරලා තිබෙන ආකෘතිය තුළ සිදු වෙලා තිබෙනවා නම්. අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කළ යුත්තේ කුමන ආකාරයකටද යන්න පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වශයෙන් අපි වාර්තාවක් ඉදිරිපත් කළා අයවැයට පෙර."

කෙසේ නමුත් වෙන් කර තිබෙන 2.72% ක සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දෙයි.

'සතුටු වෙන්න බැහැ'

"ගැටලුව තමයි මේ වෙන් කොට තිබෙන මුදලෙන් සෑහෙන්න ප්‍රමාණයක් එනම් මිලියන 9800 ක පමණ ප්‍රමාණයක් වෙන් කොට තිබෙනවා උසස් අධ්‍යාපනය සඳහා වැය ශීර්ෂය යටතේ මහපොළ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහ තවත් කාර්යයන් කිහිපයකට."

අධ්‍යාපන ක්ෂේත්‍රය හමුවේ පවතින ගැටළු හඳුනා නොගෙන වියදම් පිළිබඳ යෝජනා සකස් වී ඇති බවයි ආචාර්යවරයා කියා සිටියේ.

"ගුරු පුහුණුව සඳහා විශාල මුදලක් වෙන් කොට තිබෙනවා. ඒක හොඳ තත්වයක්. නමුත් එය නිර්වචනය කොට තිබෙන්නේ දැනට ගුරු පුහුණුව සම්බන්ධයෙන් පවතින අවශ්‍යතා තේරුම් අරන් නොවෙයි."

එබැවින් සංඛ්‍යාත්මකව ගත් කළ සතුටුදායක තත්වයක් තිබෙන නමුත් මේ වසරේ වෙන් කර තිබෙන මුදල පිළිබඳව සතුටුවිය නොහැකි බවයි හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර