තාරුණ්‍යයට හෙටක් සම්බන්ධයෙන් ගොඩහේවා අත්අඩංගුවට

Image copyright dailynews.lk
Image caption කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ නර්තනය සඳහා පැමිණි විදේශ කණ්ඩායමට මුදල් ගෙවීම සඳහා තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් මෙම ලක්ෂ පනහක මුදල යොදා ගෙන ඇති බවයි සන්ඩේ ටයිම්ස් වාර්තා කළේ

සුරැකුම්පත් හා විනිමය කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය වෙත ලබා දීම සම්බන්ධයෙන් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය සෙනසුරාදා දින නාලක ගොඩහේවා හිටපු සභාපතිවරයාට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබූ නමුත් ඔහු එම ප්‍රකාශය ලබා දීම සඳහා පැමිණ ඇත්තේ අද (සඳුදා) උදෑසනයි.

ඔහු මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දින සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ඇතුළු දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

පොදු දේපළ පනත යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම යන චෝදනා මත එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.

තාරුණ්‍යයට හෙටක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට 2013 වර්ෂයේදී සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් ලබා දුන් බව පැවසෙන රුපියල් ලක්ෂ 50ක මුදලක් සම්බන්ධයෙනුයි මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉරිදා වාර්තා කළේ කොටස් වෙළඳපොළ පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම සඳහා බව පවසමින් එම මුදල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම කටයුතු කර ඇති බවයි.

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියේ නර්තනය සඳහා පැමිණි විදේශ කණ්ඩායමට මුදල් ගෙවීම සඳහා තාරුණ්‍යයට හෙටක් සංවිධානය විසින් ඉහත කී ලක්ෂ පනහක මුදල යොදා ගෙන ඇති බවත් සන්ඩේ ටයිම්ස් වාර්තා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර