ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක්නැලිගොඩ: හමුදා නිලධාරීන් පස් දෙනා අධිකරණයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වන හමුදා නිලධාරීන් පස් දෙනා දැඩි ආරක්ෂක රැකවල් යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී තීරණය වූයේ වැඩි දුර පරීක්ෂණ සඳහා ඔවුන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටයි.

හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව සංවිධාන කිහිපයක් විරෝධතා සංවිධානය කිරීමට සුදානම් වීම හේතුවෙන් උසාවිය අවට උද්ඝෝෂණ හා පෙළපාළි යාම තහනම් කෙරුණි.

විරෝධතාවය

කෙසේ නමුත් උසාවි සීමාවට එපිටින් හෝමාගම නගර මධ්‍යයේ දී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය නමින් පිරිසක් විරෝධතාවයේ යෙදුනහ.

ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සෙනවිරත්න මන්ත්‍රීවරයා විරෝධතාවයට එක්ව සිටි අතර ඔහු පැවසුවේ ආණ්ඩුව කොටි සාමාජිකයන් නිදහස් කර හමුදා සාමාජිකයන් හිර ගත කිරීමේ වැඩසටහනක නියැලී සිටින බවයි.

නඩුව ලබන 17 වැනිදා නැවත කැඳවීමට නියමිත බවයි අධිකරණයේ සිදු වූ කටයුතු ගැන අදහස් දැක්වූ, අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිද සන්ධ්‍යා එක්නැළිගොඩ පැවසුවේ.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවීම ගැන කරුණු ගොනු කළා, හමුදා නිලධාරීන්ගේ පැත්තෙන් කිව්වා ඔවුන්ව බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කරන්න කියලා, ඒකට අධිකරණය අවසර දුන්නා" ඇය පැවසුවාය.

හමුදාවේ නායකයන්ගෙන් පරීක්ෂණයට කිසිදු සහයක් හිමි නොවන බව ද ඇය මෙහි දී ප්‍රකාශ කළාය.

"ඔවුන්ගේ යුතුකමක් විනය ගරුක නිලධාරීන් ලෙස දැන් මගේ දරුවා දෙන්නා වෙනුවෙන් ප්‍රගිත්ට මොකද වුනේ කියල කියන එක" ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිද පවසන්නීය.

එල්ටිටිඊ

මේ අතර මෙම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සදහා රාවනා බලය සංවිධානයේ ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් ද පැමිණ සිටියහ.

උන්වහන්සේ චෝදනා කලේ ප්‍රගීත් එක්නැළිගොඩ එල්.ටි.ටි.ඊ සංවිධානයට සහය දුන් අයෙක් බවටයි.

මෙයට පිළිතුරු දෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රශ්න කලේ මෙවන් චෝදනාවක් පසුගිය අවුරුදු පහ ඇතුළත ඔවුන් ඉදිරිපත් නොකළේ මන්ද යන්නයි.

"එහෙම සම්බන්ධකමක් තිබුනා නම් එදා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ නිතිය ක්‍රියාත්මක නොකළේ ඇයි ?" ඇය ප්‍රශ්න කළාය.

පසුගිය රජයට සම්බන්ධ පිරිස් තම සැමියාට විවිධ බොරු චෝදනා එල්ල කරමින් සැබෑ වැරදි කරුවන් අරක්ෂා කිරීමේ උත්සාහයක නියැලී සිටින බවයි ඇය චෝදනා කළේ.