ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දූෂණ විරෝධි දිනය: ජනපතිගෙන් ප්‍රශ්නයක්?

ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනයක් මීට පෙර රට තුළ පැවත්වී ඇත්දැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රශ්න කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රශ්න කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය නිමිත්තෙන් සංවිධානය කොට තිබූ පාගමන අවසානයේ නිදහස් චතුරශ්‍රයේ පැවති ජාතික උත්සවය අමතමින්.

‘එදා තිබුණු ආණ්ඩුවලට පාරට බැහැලා ජනතාවත් සමග මෙවැනි දිනයක් සැමරීම සඳහා හැකියාවක් තිබුණේ නැහැ කියලයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ’ ජනපතිවරයා සඳහන් කළේය.

රජයක් වශයෙන් කටයුතු කිරීමේදී අඩුපාඩු, ප්‍රමාද දෝෂයන් හා දුර්වලතා පැවතිය හැකි නමුත් රජයේ අනුග්‍රහයෙන් දූෂණ වංචා, අල්ලස් සහ අක්‍රමිකතා සිදු නොවිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

Image caption දූෂණ සහ වංචාවලට එරෙහිව සිදු කළ මාධ්‍ය මෙහෙවර අගයා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් වෙත සම්මානයක් පිළිගැන්වීය

ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය වෙනුවෙන් පැවති පාගමන සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන නායකයන්, රජයේ ආයතනවල නිලධාරීන්, පාසල් සිසුසිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.

පාගමන අතරතුර බීබීසීයට අදහස් දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂිකා ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අල්ලසට හා දූෂණයට එරෙහි වීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම පාගමනේ ප්‍රධාන අරමුණ බවයි.

මේ අතර දූෂණ සහ වංචාවලට එරෙහිව සිදු කළ මාධ්‍ය මෙහෙවර අගයා ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් වෙත සම්මානයක්ද පිළිගැන්වීය.