සීපා ඇතුළු කලාපීය වෙළඳ ගිවිසුම් ගැන මේ කරුණු දැන සිටියාද?

Image copyright Getty

අසල්වැසි ඉන්දියාව සමග ඇති කර ගත් සීපා වෙළඳ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීම ඔස්සේ ශ්‍රී ලාංකිකයන් වෙත අවාසි ගෙන දෙන බවට බොහෝ පිරිස් චෝදනා කරති.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පසුගියදා චෝදනා කොට තිබුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ වෙනත් නමකින් සීපා ගිවිසුම අත්සන් කරන්නට යන බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුව සීපා ගිවිසුමට අත්සන් නොතබන බවයි එම චෝදනාවට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.

සීපා ගිවිසුම වෙනුවට ඉන්දියාව සමඟ නව ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අගමැතිවරයා එහිදී හෙළි කළේය.

වෙළඳ ගිවිසුම්?

රටවල් අතර වෙළඳ සබඳතා පාලනය කරන ගිවිසුම් මූලික වශයෙන් කොටස් තුනකින් යුක්ත බවයි සේවා ආර්ථිකය පිළිබඳ විශ්ලේෂකයකු වන මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ.

'භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම සහ ආයෝජන පිළිබඳ පරිච්ඡේදයක් මේ ගිවිසුම්වල තිබෙනවා. සීපා ගිවිසුම් කෙටුම්පතෙත් ඉදිරියට එන ගිවිසුමේත් ඔය කොටස් තුන මූලික වශයෙන් තිබෙනවා'

දේශපාලනඥයන්ගේ සහ බලධාරීන්ගේ අභිමතය පරිදි වෙළඳ ප්‍රතිපත්ති වෙනස් නොවී පවත්වා ගැනීම සඳහා පෞද්ගලික ආයෝජකයන්ට යම් කිසි ස්ථිර භාවයක් ලබා දීමේ අරමුණින් මෙවැනි ලිඛිත ගිවිසුම්වලට එළබෙන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

බලාපොරොත්තු මොනවාද?

ගෝලීය සැපයුම් දාම හා ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමේ ප්‍රතිපත්තියක පිහිටා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ආණ්ඩුව ක්‍රියා කරන බව මහාචාර්ය රොහාන් සමරජීව කියා සිටියේය.

'ඒක මම හිතන්නේ ඉතාම ප්‍රශස්ත අරමුණක්. ඒක තමයි ශ්‍රී ලංකාව බාහිර ලෝකයට ගෙන යන්න පුළුවන් එකම විදිහ. ඒ සඳහා අවශ්‍ය නිශ්චිතභාවය ලබා දීම සඳහා තමයි ඉන්දියාව, චීනය වැනි රටවල් සමග ගිවිසුම්වලට එළඹෙන්නේ' මහාචාර්යවරයා සඳහන් කළේය.

අවාසි?

මෙවැනි වෙළඳ සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට අවාසියක් සිදු නොවන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

ගිවිසුමක් අත්සන් කොට නිශ්චිතභාවයක් ලබා දීම හරහා රට වෙත ආයෝජකයන් පැමිණෙන බවත් එම නිශ්චිතභාවය නිසා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අනෙකුත් රටවලට ගොස් ආයෝජන සිදු කළ හැකි බවත් ඔහු පැවසීය.

සීපා ගිවිසුම අත්සන් තැබීමෙන් ඉන්දීය වෘත්තිකයන් මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවස්ථා හිමි කර ගනු ඇති බවට පසුගිය දිනවල බොහෝ පිරිස් චෝදනා කළහ.

උදාහරණයක් වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් කියා සිටියේ සීපා ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ඉන්දීය කරණවෑමීන් මෙරටට පැමිණ එම රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ බඩට පහර ගසනු ඇති බවයි.

රැකියා අවස්ථා?

සීපා ගිවිසුම හෝ ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත වෙළඳ සහයෝගිතා ගිවිසුමකදී වෘත්තීය සේවා අංශ විවෘත නොකරන බව මහාචාර්යවරයා කියා සිටියේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සහ නැව් නිෂ්පාදන කර්මාන්තය හැරුණු කොට වෙනත් කිසිඳු වෘත්තීය සේවාවක් සීපා ගිවිසුමට ඇතුළත් කොට නොතිබුණු බවයි ඔහු සඳහන් කළේ.

'නමුත් බොරුවට තප්පුලන්න පටන් ගත්තා සියලු වෘත්තිකයන්ට රැකියා විවෘත කරනවා කියලා. නමුත් ගිවිසුමේ එහෙම නැහැ'

ගිවිසුමේ සඳහන්ව තිබූ විශේෂඥ දැනුමක් සහිත නැව් නිෂ්පාදන ශිල්පීන් ශ්‍රී ලංකාවේ නොමැති වීම නිසා එමගින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා අහිමි වීමේ අවදානමක් නොමැති බවයි මහාචාර්යවරයා පවසන්නේ.

භාණ්ඩ මිල සහ පිරිවැය

රටවල් අතර වෙළඳ සහයෝගිතා ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩ මිල අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පර්යේෂණවලින් පෙනෙන්නට තිබෙන බව මහාචාර්ය රොහාන් සමරජීව කියා සිටියේය.

'ඒ අඩු වීම නිසා සමාජයේ දිළිඳු කොටස්වලට වාසියක් ලැබෙනවා' යනුවෙන් පැවැසූ මහාචාර්යවරයා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේදී වෙළඳ ගිවිසුම නිසා ඒවායේ මිල අඩුවන බවයි කියා සිටියේ.

'ගෝලීය සැපයුම් දාමයක් කියන්නේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශ රටකින් එනවා. ඒ සඳහා යන අගය එකතු කරලා නිෂ්පාදන අපනයනය කරනවා. උදාහරණයක් වශයෙන් ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි, සිප්, ඩයි වැනි දෑ ලංකාවේ හදන්නේ නැහැ.' සේවා ආර්ථිකය පිළිබඳ විශ්ලේෂකයකු වන මහාචාර්ය රොහාන් සමරජීව වැඩිදුරටත් සඳහන් කළේය.