සමූහ මිනීවල: මිනිස් ඇටසැකිලි එතෙරට

Image copyright TamilNet

මන්නාරමේ තිරුකේතීස්වරන් පළාතේ සමූහ මිනීවලකින් 2013 වසරේ ගොඩ ගත් මිනිස් ඇටසැකිලි 88 ක් ඩී.එන්.ඒ.පරීක්ෂණ සඳහා විදේශ රටකට යැවීමට මන්නාරම මහෙස්ත්‍රාත් එම් ඇලෙක්ස්රාජා නියෝග කළේය.

මන්නාරම අධිකරණයේ නීතිඥ වීඑස් නිරන්ජන් කියා සිටියේ යුගොස්ලෝවියාව, ආර්ජන්ටිනාව, සහ ගෝතමාලා යන රටවලින් එකකට මෙම මිනිස් ඇටසැකිලි යවා ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ලැබුණු බවයි.

තිරුකේතීස්වරන් සමූහ මිනීවලෙන් හමු වුණු මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්නගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු කියා සිටියේ එම මිනිස් ඇටසැකිළි සම්බන්ධයෙන් ඩීඑන්ඒ මට්ටමේ පරීක්ෂණයක් කිරීමට ඒවා විදේශ රටකට යැවීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

ඇටසැකිලි එකින් එක පරීක්ෂා කොට වයස, කාලය, ස්ත්‍රී පුරුෂභාවය සහ මියයාමට හේතුව ශ්‍රී ලංකාවේ රසායනාගාරයක් තුළදී කළ හැකි බව කී අධිකරණ වෛද්‍යය නිලධාරියා දැනටමත් එවැනි පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් සිදු කෙරෙන බව පැවසීය.

ඇටසැකිලි 88 ක් තමන් අනුරාධපුර රෝහලේ සේවය කරන කාලයේදී රැගෙන විත් මූලික පරීක්ෂණ සිදු කරමින් සිටින අතරතුර තමන් මාතලේ රෝහලට මාරු කොට යැවූ නමුත් එම ඇටසැකිලි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට කවරෙකුවත් තමන්ට උපදෙස් ලබා නොදීම පරීක්ෂණ ඇනහිටීමට හේතු වූ බවද ඔහු සඳහන් කළේය.

තිරුකේතීස්වරන් සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය අධිකරණයට වාර්තා කොට ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී මෙම ස්ථානයේ සුසාන භූමියක් තිබුණු බැවින් මෙම මිනිස් ඇටසැකිලි එම පළාතේදී ස්වාභාවික අන්දමින් මියගිය පුද්ගලයින්ගේ මළසිරුරුවල ඇටසැකිලි විය හැකි බවයි.

රහස් පොලීසියේ වාර්තාවට විරෝධය පළකරමින් මන්නාරමේ ස්වේච්ඡා සංවිධාන කීපයක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ රහස් පොලීසියේ වාර්තාව සාවද්‍ය බවයි.

සමූහ මිනීවල පිහිටි ස්ථානය අවට ගම්මාන වලින් විශාල පිරිසක් යුද සමයේදී අතුරුදහන්ව ඇති නිසා මෙම ඇටසැකිලි එම අතුරුදහන් වූ පුද්ගලයින්ගේ විය හැකි බව එම පෙත්සමේ සඳහන් කොට තිබේ.

මන්නාරම අධිකරණය ඩීඑන්ඒ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කොට ඇත්තේ මෙම පරස්පර අදහස් සහ මත පිළිබදව ස්ථිර නිගමනයකට එළඹීම පිණිසයි.