2020 දී ශ්‍රී ලංකාව බිම් බෝම්බ නැති රටක් වේද?

2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර රටක් බවට පත් කළ හැකි බව උතුරේ බිම්බ ඉවත් කිරීමේ නිරතව සිටින හේලෝ ට්‍රස්ට් සංවිධානයේ නේවාසික කළමනාකරු ඩේමියන් ඕ බ්‍රයන් ප්‍රකාශ කරයි.

'හෙලෝ ට්රස්ට්' සංවිධානය විසින් පමණක් උතුරු නැගෙනහිර පළාත් තුළ වසර දහ තුනක කාලයකදී බිම් බෝම්බ ලක්ෂ දෙකක් ඉවත් කොට අවසන් කිරීම සැමරීමට යාපනයේ මුහමාලේ ක්‍රීඩාංගණයේ දී පැවති උත්සවයකදීයි ඔහු ඒ බව කියා සිටියේ.

Image caption 'හෙලෝ ට්‍රස්ට්' ආයතනයේ නේවාසික කලමනාකරු ඩේමියන් ඕ බ්‍රයන්

වසර 2020 වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර නිදහස් රටක් බවට පත් කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ආධාර දෙන රටවල එකම බලාපොරොත්තුව බව 'හෙලෝ ට්‍රස්ට්' ආයතනයේ නේවාසික කලමනාකරු ඩේමියන් ඕ බ්‍රයන් පැවසුවේය.

ආධාර දෙන රටවල් බිම් බෝම්බ ඉවත් කිරීමට මුල්‍ය ආධාර සපයා දෙනු ලබන්නේ මානුෂීය පදනමක් මත බව කී හෙලෝ ට්‍රස්ට් කලමනාකාරවරයා ඒ සෑම රටක්ම, ශ්‍රී ලංකාව බිම් බෝම්බ වලින් තොර නිදහස් රටක් වනු දැකීමට දැඩි සතුටකින් පසු වන බවද කියා සිටියේය.

නමුත් බිම්බෝම්බ පිටුදැකීමේ ව්යාපාරයේ ශ්‍රී ලංකා නියෝජිතයෙකු මෙන්ම බිම් බෝම්බ පර්යේෂයෙකු වන විද්‍යා අබේගුණවර්ධන කියා සිටියේ දැනට ශ්‍රී ලංකාවේ බිම්බෝමබ ඉවත් කෙරෙන ශීඝ්රතාවය දෙස බලන විට 2020 වන විට බිම්බෝම්බ සියල්ල ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවයි.

එහෙත් බිම් බෝම්බ පිටුදැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයකු සහ බිම් බෝම්බ පර්යේෂකයකු වන විද්‍යා අබේගුණවර්ධන පැවසුවේ 2020 ඉලක්කය සපුරාලීම දුෂ්කර බවයි.

Image caption බිම් බෝම්බ පර්යේෂයෙකු වන විද්‍යා අබේගුණවර්ධන

2011 වසරේ දී වර්ග කිලෝමීටර් පණස් තුනක බිම් බෝම්බ ඉවත් කළත් 2012 වන විට එම ප්‍රමාණය වර්ග කිලෝ මීටර් විසි දෙකක් දක්වා පහත වැටී ඇති බව පැවසූ විද්‍යා අබේගුණවර්ධන 2013 සහ 2014 වර්ෂ වන විට එම ප්‍රමාණයන් පිළිවෙලින් වර්ග කිලෝ මීටර අටක් සහ පහක් දක්වා පහත වැටී ඇතැයි ද පෙන්වා දුන්නේය.

තවත් වර්ග කිලෝමීටර් හැට හතරක භූමි භාගයක් තුළ බිම් බෝමබ ඉවත් කිරීමට ඇති හෙයින් ඉදිරි වර්ෂ පහ තුළ මෙම බිම් බෝම්බ ප්‍ර මාණය ඉවත් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බිම් බෝම්බ ප්‍රඥප්තියට මේ දක්වා අත්සන් කොට නොතිබීම ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් මන්දගාමී වීම කෙරෙහි බෙහෙවින් බලපා ඇතැයි ද විද්‍යා අබේගුණවර්ධන සඳහන් කළේය.

ආධාර ප්‍රමාණය වැඩි කර ගැනීමටත්, නවීන තාක්ෂණ ක්‍රමවේදයන් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමටත් හැකිවන්නේ ශ්‍රී ලංකාව බිම් බෝම්බ සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තැබීමෙන් පමණක් බව පවසන ඔහු තවදුරටත් කියා සිටියේ ඒ තුළින් ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ප්‍රශ්නය පිළිබඳව මීට වඩා අවධානයක් ජාත්‍යන්තර වශයෙන් ලබා ගත හැකි බවයි.

බිම්බෝමබ ඉවත් කරගැනීමට නොහැකි තත්ත්වය මත යුද්ධයෙන් අවතැන් වූ පවුල් පහළොස් දහසක් තවමත් ඔවුන්ගේ මුල් ගම්බිම් වල නැවත පදිංචි කරගැනීමට නොහැකි කණගාටුදායක තත්ත්වයක් උතුරු නැගෙනහිර පළාත් තුළ උද්ගත වී ඇති බව ද විද්‍යා අබේගුණවර්ධන කියා සිටියේය.

නමුත් 'හෙලෝ ට්‍රස්ට්’ කලමනාකාරවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බිම් බෝම්බ ප්‍රඥප්තියට අත්සන් නොතැබීම ශ්‍රී ලංකාව තුළ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියයේදී තම සංවිධානයට ප්‍රශ්නයක් වී නොමැති බවයි.