සිසුවියට පහරදුන් පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

Image copyright b

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුන්ට පහර දුන් බවට හඳුනා ගත් පොලිස් පරීක්ෂකයකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙම පොලිස් නිලධාරියා කිරුළපන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකයකු බව පොලිස් ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් කළ පරීක්ෂණයෙන් පසු එම වාර්තාව පොලිස්පතිවරයා වෙත එවා තිබුණු බවත් ඒ අනුව සිසුන්ට පහර දුන් බවට පැවසෙන පොලිස් පරීක්ෂකයාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර ගොනු කොට පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

වීරකැටිය කෞතුකාගාරය

මේ අතරතුර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බව හම්බන්තොට සිට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසීයට පැවසීය.

මේ පිළිබඳව විමසීමේ දී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ වීරකැටිය ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදිකිරීමේ දී සිදුවූ බව පැවසෙන රාජ්‍ය මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි ඔහු පැවසුවේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් රජයේ තක්සේරු නිලධාරීන් සමඟ එහි ගොස් තක්සේරු වාර්තාවක් ලබා ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.