ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුරෝපීය වෙළඳපළට යන සිංහල චිත්‍රපටය

නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්‍ෂ නුවන් ජයතිලකගේ ‘සුළඟ අප රැගෙන යාවි’ නෙදර්ලන්තයේ මුළු දුන් සිනෙකිඩ් (Cinekid) ජාත්‍යන්තර උළෙලට සමගාමීව පැවැත්වුණු යුරෝපීය වෙළඳපළට තෝරා ගෙන තිබේ.

යුරෝපීය ළමා චිත්‍රපට සංගමයේ (ECFA - European Children's Film Association) මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම වෙළඳපළට සිංහල සිනමා පටයක් තෝරා ගෙන ඇත්තේ ප්‍රථම වතාවට බවයි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා පවසන්නේ.

‘සුළඟ අප රැගෙන යාවි’ ස්වාධීන චිත්‍රපට කරුවෙකු වන (Independent film maker) නුවන් ජයතිලකගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි.

ප්‍රථම අත්දැකීම

මෙම නිර්මාණයට දායක වී ඇති සංගීතඥයාගේ, කැමරා ශිල්පියාගේ සහ නිෂ්පාදිකාවගේ ද ප්‍රථම සිනමා අත්දැකීම මෙය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීනතම සංගීතඥයෙකු වන පී එල් ඒ සෝමපාලයන් ගේ පුත් චිත්‍රාල් සෝමපාල සංගීතය සපයා ඇති මෙම චිත්‍රපටයේ කැමරාකරණය ස්ට්රයිනර් ඇඩම්ස් ගෙනි.

‘සුළඟ අප රැගෙන යාවි’ නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ ගත් කරු සයිමන් නවගත්තේගම ගේ දියණිය වන මායා නවගත්තේගම යි.

දින 16ක් වැනි කෙටි කාලයකින් රූගත කිරීම් නිම කර ඇති මෙම චිත්‍රපටයෙහි සියලුම ශබ්ද දර්ශන තලයෙහිදීම පටිගත කර තිබීම තවත් විශේෂත්වයකි.