කූගන් අතුරුදහන්වුනේ 'අතුරුදන්වූවන් සොයන්න ගිය නිසා'

Image copyright Getty
Image caption 'ලලිත් මානව අයිතිවාසිකම් වෙනුවෙනුයි පෙනී හිටියෙ. ඒවා ගැන වැඩියෙන් උනන්දු වී වැඩ කළා. ඒවා නවත්වන්න හිටපු රජය සමයේ ආරක්ෂක අංශ කෙළින්ම මැදිහත් වුණා. ඒවා නවත්වන්න කීවා. අතුරුදවූවන් සොයන්නට යාම තමයි අතුරුදන් වීමට හේතුව'

සිය සැමියා අතුරුදහන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තමන්ටද තර්ජන එල්ල වූ බව අතුරුදහන්ව සිටින කූගන් මුරුගානන්දන්ගේ බිරිඳ පවසයි.

ලලිත් වීරරාජු සහ කූගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වී පසුගිය සතියට සිව් වසරක් පිරිණ.

2011 දෙසැම්බර් 09 වැනිදා යාපනය, නීර්වේලී - උතුර ග්‍රාම සේවක නිලධාරි නිවස ඉදිරිපිට තිබී ඔවුන් දෙදෙනා එදින (09) සවස ගමන් ගත් යතුරුපැදිය හමු වී තිබිණ.

"හිටපු සන්ධාන ආණ්ඩු කාලයේදී අපිට තර්ජනය කිරීම් සිදු වුණා. ඔවුන් අතුරුදහන් වුණ කාලයේ තොරතුරු සොයද්දී 'දරුවට තාත්තා වගේම අම්මත් නැති වෙන විදිහට වැඩ කරන්න එපා' කියමින් තමයි කලින් ආණ්ඩු කාලයේදී තර්ජන සිද්ධ වුණේ," ජනතා මුරුගානන්දන් පැවසුවාය.

'පැවති ආණ්ඩුව'

"නාඳුනන අය ගෙදරටම ඇවිත් තර්ජනය කළා. කූගන් - ලලිත් මානව අයිතිවාසිකම් වෙනුවෙනුයි පෙනී හිටියෙ. ඒවා ගැන වැඩියෙන් උනන්දු වී වැඩ කළා. ඒවා නවත්වන්න හිටපු රජය සමයේ ආරක්ෂක අංශ කෙළින්ම මැදිහත් වුණා. ඒවා නවත්වන්න කීවා. අතුරුදවූවන් සොයන්නට යාම තමයි එයාල අතුරුදන් වීමට හේතුව.''

ඔවුන් රජයේ ආරක්ෂක අංශ භාරයේ සිටින්නේද නැද්ද යන්න පිළිබඳව එවකට ආණ්ඩුවේ ඇතැම් වගකිවයුත්තෝ වරින්වර පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කළහ.

ඔවුන් දෙදෙනා අතුරුදහන්වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එවකට පැවති සන්ධාන ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණය නියෝග කර තිබේ.

ලලිත් වීරරාජ් සහ සිය සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා නොදුන් පොලිසිය තමාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රකාශ ලබා ගත් බව ජනතා මුරුගානන්දන් පැවසුවාය.

''අලුත් රජය ආවට පස්සේ තර්ජන නතර වුණත් මගේ දියණිය ගැන තියෙන්නේ බයක්. ඇයගේ බියත් නැති වෙලා නැහැ. මේ ගැන අධිකරණයේ විභාග වෙන නඩුවට මම සහභාගි නොවන්නෙත් ඒ නිසයි. වත්මන් රජය අපේ ආරක්ෂාව ගැන වගකීම ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා."

වසර හතරක්

  • අතුරුදහන්වීම 2011 දෙසැම්බර් 09 වැනිදා.
  • සිද්ධිය වූ දිනයේ ලලිත් වීරරාජ් කූගන්ගේ ආවරන්ගල් පිහිටි නිවසට පැමිණෙන්නේ තනිවම.
  • ඉන් සුළු වේලාවකට පසුව කූගන් ලලිත් යාපනය ඇරලවීම පිණිස යද්දීයි, ඔවුන් අතුරුදහන් වන්නේ.
  • කූගන් යාපනයේ වැලි ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ට එරෙහිව ක්‍රියා කළේය; ලලිත් සමග උතුරේ අතුරුදහන්වූවන් සෙවීමටද ක්‍රියා කළේය.
  • එවකට රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රකාශයට අනුව ලලිත් - කූගන් ආරක්ෂක අංශ භාරයේ සිටි බවට වගකීම් සහගත සාක්ෂියක් තිබේ.
  • ලලිත් පැහැර ගන්නා විට ඔහු ජවිපෙ සාමාජිකත්වයෙන් ඉවත් වී මාස තුනක් පමණි. කූගන් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි. ඔහුට දේශපාලන අනුග්‍රහයක් නොතිබිණ.
  • කෙහෙළිය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ලලිත් - කූගන් කොළඹ පොලිස් අත්අඩංගුවේ සිටින බවත් කොළඹ පොලිස් සුභ සාධන ගොඩනැගිල්ල පරීක්ෂා කරන ලෙසත් නීතිඥ උදුල් ප්‍රේමරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.
  • එහෙත් කිසිදු පුද්ගලයෙකු කොළඹ පොලිස් සුභ සාධන ගොඩනැගිල්ලේ රඳවා නොමැති බවයි එකල රජයේ නිල නිවේදනවල සඳහන් වුනේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර