'වෛරී අදහස් ප්‍රකාශන'යෝජනා හකුලා ගැනේ

Image copyright EPA

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා ඉවත් කර ගන්නා බව රජය නිවේදනය කරයි.

කැබිනට් මණ්ඩලයේ ද අනුමතිය හිමි වූ එම සංශෝධන යෝජනා පසුගිය දෙසැම්බර් 11 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයට සිවිල් සමාජ සංවිධාන වල හා ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානයේ විරෝධය එල්ල විය.

සුළු පක්ෂවල විරෝධය

මෙම යෝජනා ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද, බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ සුළු පක්ෂවල විරෝධය හේතුවෙන් එම යෝජනා ඉවත් කර ගත් බවයි.

" මොකද මේ ගෙනල්ලා තියෙන පනතෙ තියෙන්නේ ත්‍රස්තවාදී පනතේ තිබෙන කාරණා, ත්‍රස්තවාදී පනත ඉවත් කර ගන්න එකඟ වෙලා තියෙද්දී මේකට ඇතුළත් කරන්න හේතුවක් නැහැනේ"

වැරැද්දක්

ආණ්ඩුව අතින් මෙහිදී වැරැද්දක් සිදුවී ඇති බව පිළිගත් අමාත්‍ය රාජිත සේනාරත්න එම වැරදි නිවැරදි කර අදාළ යෝජනා නැවත ඉදිරිපත් කරන බවයි සඳහන් කළේ.

මෙවන් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර ඒවා සම්බන්ධයෙන් සොයා බලන්නේ නැද්දැයි බිබිසිය විමසු විට ඊට පිළිතුරු දුන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළේ යෝජනා සකස් කිරීමේ තාක්ෂණික අවධියේ එවන් වැරදි සිදුවී ඇති බවයි.

"මේ වැරදි පෙන්වාදීපු ගමන්ම ඒක ඉවත් කර ගෙන අපි ආපහු මිට වඩා වැදගත් යෝජනා ඉදිරිපත් කරනවා, වෛරී අදහස් ප්‍රකාශනයට එරෙහිව නීති අවශ්‍යයි, ඒ සඳහා අපි ක්‍රියා කරනවා"

ඉදිරියේ දී සියලු දෙනා සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.