වෛරී ප්‍රකාශන: 'පවතින නීති ප්‍රමාණවත්'

Image copyright Thinkstock

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කළ හොත්, ඒ හරහා ස්වයං-වාරණයේ සහ නිදහස් අදහස් ප්‍රකාශනය අධෛර්යමත් කිරීමේ සංස්කෘතියක් ඇති විය හැකි බව ඒකාබද්ධ සිවිල් සමාජ පවසති.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ ‘අතීත අත්දැකීම්වලින් පෙනෙන පරිදි’ මෙවැනි නීතියක් නීතිගත කිරීම හරහා රජයක් විසින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනාත්මක වන පුද්ගලයන් ඉලක්ක කිරීමට මෙම නීතිය භාවිතා කිරීමේ 'ඉතා සත්‍ය සම්භාවිතාවක්' ඇති බවයි.

Image copyright Photo KS Udayakumar

“වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට නව නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවය, ඉහත කී ප්‍රකාශනයට අත්සන් තබා ඇති හැටකට අධික සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන අතර, එම කාර්යය ඉෂ්ට කිරීම සඳහා පවතින නීතියේ විධි විධාන පවතින බව ද පවසති.

අදහස් ප්‍රකාශනය

Image copyright AP

දණ්ඩ නීති සංග්‍රහයේ පවතින එම නෛතික වගන්ති උපුටා දක්වමින් ඒකාබද්ධ සිවිල් සමාජ නිකුත් කර ඇති ප්‍රකාශනයේ මෙසේ දැක්වෙයි.

‘ශ්‍රී ලංකාවේ වෛරී අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් යැයි පුළුල්ව නම් කළ හැකි දැනටත් පවතින විවිධ නීති සමූහය සැලකූ කළ, නිශ්චිත ආගමික කණ්ඩායම් ඉලක්ක කර ගත් ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහිව නඩු නොපැවරීම නීති පද්ධතියේ අඩුපාඩු නිසා නොව, පවතින නීතින්ගෙන් කොටසක් පමණක් තෝරා ගෙන ක්‍රියාත්මක කිරීමත්, ප්‍රචණ්ඩ වෛරයන්ට ආධාර අනුබල දෙන්නන්ට එරෙහිව කටයුතු කිරීමටත් ඇති නීති ක්‍රියාත්මක කිරීමට දේශපාලන වුවමනාවක් නොතිබීමත් යන කරුණුවල ප්‍රතිඵල බව අපගේ අදහසයි. මෙම තත්ත්ව යටතේ, අප රජයට බල කර සිටින්නේ සිය පුරවැසියන්ට තමන්ගේ වගකීම්, සහ අන්තර්ජාතික වගකීම් ඉටු කරමින්, පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයේ අයිතීන් සුරකින නව, සමෘද්ධිමත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කරමින් ඉදිරිපත් කළ මෙම නීති කෙටුම්පත් ඉවත් කර ගන්නා ලෙසයි.’

'මර්දනයට ඉඩකඩ'

Image caption සමාජ ක්‍රියාධර රුකී ප්‍රනාන්දු

මේ පිළිබඳව සංදේශයට අදහස් දැක්වූ සමාජ ක්‍රියාධර රුකී ප්‍රනාන්දු කියා සිටියේ උවමනාවට වඩා පුළුල් භාෂාවක් පාවිච්චි කරමින් නීති ගෙන ඒම තුලින් විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා පවතින රජයට ඉඩ කඩ වැඩි වන බවයි.

‘මම ඉල්ලා සිටින්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ තුන්වැනි වගන්තියේ පළමුවැනි කොටසේ තියෙන දෙය කලින් ක්‍රියාවට නංවන්න කියල. අඩුපාඩුවක් තියෙනවනම් අපිට පස්සේ වෙනස් කරගන්න පුළුවන්. පසුගිය කාලයේ වෛරී ප්‍රකාශ සිදු කළ බවට පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒවා යූ ටියුබ් එකේ තියෙනවා. වෙබ් අඩවිවල තියෙනවා. වෛරී ප්‍රකාශන සිදු කරද්දී පොලිසිය බලා ඉඳල තියෙනවා. ඒ වුනාට මේවට එරෙහිව පියවර අරගෙන නැහැ.’ ඔහු පැවසීය.

රජය ගෙන ඒමට උත්සාහ කරන නව සංශෝධන වැළැක්වීම සඳහා ඊට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද සමාජ ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසයි.