රා තැබෑරුම් වැඩි කිරීමට එරෙහිව තහනම් නියෝගයක්

Image copyright Pragit P Elayath

කොළඹ නගරය තුළ රා තැබෑරුම් විවෘත කළ හැකි කලාප සංඛ්‍යාව වැඩි කිරීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

මතින් තොර රටක් බිහි කිරීම රජයේ ප්‍රතිපත්තිය වී තිබිය දී රාජ්‍ය නිලධාරීන් මේ ආකාරයට මත්පැන් ශාලා වැඩි වැඩියෙන් විවෘත කිරීමට අනුමැතිය දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ අධිකරණය, අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව පෙත්සම්කාර සර්ව ආගමික කමිටුවේ සභාපති මාදම්පාගම අස්සජි හිමියන් කියා සිටියහ.

පෙත්සම්කරුවන් පවසන්නේ කොළඹ නගරය තුළ කලාප පහක පමණක් රා තැබෑරුම් විවෘත කිරීමට මේ දක්වා අනුමැතිය දී තිබූ බවයි.

එහෙත් එම කලාප සංඛ්‍යාව 600%කින් ඉහල නැංවීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්වරයා තීරණය කර ඇති බව පවසන පෙත්සම්කරුවෝ තවදුරටත් කියා සිටියේ එවැනි තීරණයක් ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරයාට බලයක් නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය එම පෙත්සම ඉදිරියටත් විභාග කිරීමට අවසර දෙමින් අදාළ තහනම් නියෝගය නිකුත් කර තිබේ.

වැඩිදුර නඩු විභාගය මැයි මස 02 වනදාට කල් තැබුණි.