කුසල් ජනිත්ගේ උත්තේජක චෝදනාව 'කුමන්ත්‍රණයක් දැයි සැකයි'

Image copyright Getty
Image caption වැඩිදුර පරීක්ෂණ පිණිස කුසල් ජනිත් පෙරේරා ගේ බී සාම්පලයක් ජගත් පාලක මණ්ඩලය වෙත පිටත් කර යවන බවද අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගත් බවට එල්ල වූ චෝදනාව කුමන්ත්‍රණයක් දැයි සැක පහල වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානයෙන් ඔහු ඉවත් කර තැබීම එම කුමන්ත්‍රණයේ අරමුණ දැයි සැක පහල වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබිණ.

එහෙත් කිසිසේත්ම එවැනි කුමන්ත්‍රණයක් දියත් වීමේ හැකියාවක් නොමැති බවයි ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා බීබීසී සංදේශයට කියා සිටියේ.

බී සාම්පලය

කිසියම් ලෙසකින් අමාත්‍යවරයා පවසන පරිදි කුමන්ත්‍රණයක් දියත් වූයේ නම් එය විය හැක්කේ කෙලෙසදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැන්නක් විය හැකි එකම ක්‍රමය ක්‍රීඩකයාගේ කෑමට තහනම් උත්තේජක මුසු කිරීම පමණක් බවයි.

කෙසේ නමුත් එවැනි උත්සාහයන් පිළිබඳව ක්‍රීඩකයා මෙන්ම වෛද්‍යවරුන් සහ පුහුණුකරුවන් ඇතුළු සියල්ලන් තදින්ම දැනුවත් කර තිබෙන බැවින් එය අතිශය දුෂ්කර කටයුත්තක් බව චන්නක ද සිල්වා ගේ මතයයි.

''මම හිතන්නේ මේක ලංකාවේදී ගත්තු සාම්පලයක් නිසා ලංකාවේ කෙනෙක්ම එහෙම කුමන්ත්‍රණ කරාවිද කියල අපිට සැකයක් තියෙනවා,'' පවසමින් චන්නක ද සිල්වා අමාත්‍යවරයාගේ මතය බැහැර කළේය.

'කුමන්ත්‍රණ කතා' ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මාතෘකාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුර පරීක්ෂණ පිණිස කුසල් ජනිත් පෙරේරා ගේ බී සාම්පලයක් ජගත් පාලක මණ්ඩලය වෙත පිටත් කර යවන බවද අමාත්‍ය දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.

එහෙත් බී සාම්පලය යනු පළමු සාම්පලයේම කොටසක් බැවින් ජගත් පාලක මණ්ඩලය වෙත වෙනත් සාම්පලයක් යැවීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර