ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 'ආණ්ඩුවට ගන්න'

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල් තුළ සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟත්වය පළ කළේය.

සෞඛ්‍යය අමාත්‍යංශය ගනු ලැබූ එම තීන්දුවට සිය සංගමය විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

'රජයේ පහසුකම් වලින් යැපීමට උත්සාහ කරන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා රජයට පවරා ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා' එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේය.

'රජයේ දේපළ පරිහරණය කරනවා නම්, රජයේ දේවල්ම අවශ්‍ය කරනවා නම් මේක රජයෙන්ම කරන්න. මිලියන 600ක් ලංකා බැංකුවෙන් ණයක් අරන් නම් මේක කරන්නේ පුහුණුවත් රජයෙන් නම් දෙන්නේ මේක කොහොමද පුද්ගලික වෙන්නේ'

'කොහොමද පුද්ගලික වෙන්නේ?'

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා කරමින් අදාළ විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කොට තිබිණ.

එම පෙත්සම පෙත්සමක් ඊයේ අඟහරුවාදා කැඳවූ අවස්ථාවේදී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රුපියල් 50,000ක් මුදලක් අය කොට ගෙන රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට එකඟ විය.

සෞඛ්‍යය අමාත්‍යංශය එවන් තීරණයක් ගැනීමේදී තම සංගමය සමග සාකච්ඡා කල යුතුව තිබූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

'ප්‍රධාන පාර්ශව කරුවන් නොමැතිව තීන්දු තීරණ ගන්නවා. ඒක අනාගතයේදී සෞඛ්‍යය ක්ෂේත්‍රයට අහිතකර වෙයි' වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේය.

සෞඛ්‍යය අමාත්‍යංශය ගෙන ඇති තීරණවලට තම සංගමය දක්වන ප්‍රතිචාරය ලබන 18 වැනිදා කැඳවන විශේෂ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවත්වෛද්‍යවරයා සඳහන් කළේය.

'සමාන අවස්ථා'

මේ අතර ඊයේ අඟහරුවාදා සෞඛ්‍යය අමාත්‍යංශය ගත් තීරණයට එරෙහිව අද බදාදා රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුහු විරෝධතාවක යෙදුනහ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා වසා දමන ලෙසයි විරෝධතාවට එක් වූ රජයේ වෛද්‍ය සිසුන් ඉල්ලා සිටින්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ විශ්වවිද්‍යාල ඉගනුම ලබන වෛද්‍ය සිසුහු මෙයට විරෝධය දැක්වීමේදී එක් හේතුවක් ලෙස දක්වන්නේ මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට නිසි සුදුසුකම් නොමැත යන්නයි.

නමුත් එම චෝදනාව මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගනුම ලබන සිසුහු ප්‍රතික්ෂේප කරති.

විදේශගතව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ඉගනුම ලැබූ සිසු සිසුවියන්ට විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කිරීමට හැකි නම් තමන්ටද එම අවස්ථාව හිමි විය යුතු බවයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ තිලිනි දිසානායක කියා සිටියේ.