සංහිඳියා විෂය පාසලට: 'මේක වුණේ පාලකයාගේ වරදින්'

ශ්‍රී ලංකාවේ ජාතිවාදී ගැටුම් මතු වූයේ ළමුන්ට සංහිඳියාව පිළිබඳ දැනුම මද කමින් නොව පාලකයින් තම බලය උදෙසා ජාතිවාදය වැපිරීම නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මෙවැනි වාතාවරණයක් යටතේ පාසැල් ළමුන්ට සංහිඳියාව ගැන ඉගැන්වීම අත්‍යවශ්‍ය කරුණක් වන නමුත් ජාතික සමඟිය පිළිබඳව දේශනා සහ පාඩම් වැඩි වශයෙන් ලබා දිය යුත්තේ දේශපාලකයන්ට බවයි ඔහු කියා සිටියේ.

දකුණේ සොල්දාදුවා

'සාම අධ්‍යාපනය සහ ගැටුම් නිරාකරණය' නමින් අලුත් විෂයක් පාසල් විෂය ධාරාවට එකතු කිරීම සඳහා කර ඇති යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ විශේෂ සාකච්ඡාවක දීයි.

‘දකුණේ සිංහල සොල්දාදුවා ජාතිවාදයෙන් මුසපත් වූවෙක් නොවෙයි. උතුරේ සාමාන්‍ය පවුලකින් එල්ටීටීඊ සංවිධානයට බැඳුනු තරුණයා ජාතිවාදයෙන් මුසපත් වූවෙක් නොවෙයි. මේ දෙදෙනාටම ජාතිවාදය ගෙන ආවේ කවුද? තමන්ට බලය ලබා ගැනීමටත් තිබෙන බලය රැක ගැනීමටත් යත්න දරන දේශපාලකයා. ඒ නිසා ඇත්තටම පාඩම් හා දේශනා අවශ්‍ය මේ පාලකයන්ට.’ අනුර කුමාර දිසානායක පැවසීය.

'මිත්‍යාවක්'

'සාම අධ්‍යාපනය සහ ගැටුම් නිරාකරණය' නමින් නව විෂයක් පාසලට ඇතුල් විය යුතු බවට යෝජනා කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දරන 'ජාතික ඒකාග්‍රතාවය සහ සංහිඳියාව කාර්යාලය' මගිනි.

රට තුල විවිධ ජාතීන් සහ ආගම් වලට අයත් ජනයා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ගොඩ නැගීම සඳහා මෙය යහපත් පියවරක් බවයි ඔහු පවසන්නේ.

‘හැබැයි කවුරු හරි මේක ලඝු කරන්න හදනව නම්, පාසල් දරුවන්ට ජාතික සමඟිය ගැන දැනුම අඩු කම තමයි මේ ප්‍රශ්නවලට මුල කියල ඒක මිත්‍යාවක්. එහෙම වුනොත් ඒක සැබෑ වග උත්තර කරුවන් සැඟවීමට ගන්නා උත්සාහයක් වෙනවා. හිටපු සහ ඉන්න පාලකයින් බලය ලබා ගැනීමටත් බලය ආරක්ෂා කර ගැනීමටත් ජාතිවාදය වැපිරුවා. විටෙක සිංහල ජාතිවාදය, විටෙක දෙමළ ජාතිවාදය’ ජවිපෙ නායකයා ප්‍රකාශ කළේය.