විදේශ සේවය දුවන්නේ එජාප සබඳතා නිසා - අගමැති

කඩා වැටී ඇති ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන්ට වඩා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් සතු විදේශ සබඳතා සැලකිල්ලට ගනිමින් ඔවුන් ඇතැම් රටවල තානාපති පදවි සඳහා පත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ප්‍රධාන රටවල් කීපයක තානාපතිවරුන් පත් කරනු ලැබීමේ දී ඔවුන්ගේ සුදුසුකම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වීම බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමිනුයි අගමැතිවරයා එම ප්‍රකාශය කළේ.

මාස දාහතරක කාලයක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පුරප්පාඩුව පැවතීම ගැනත් විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ.

ක්‍රිස් නෝනිස් ප්‍රහාරය

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය පුරප්පාඩුව පැවතීම ගැන විපක්ෂයේ මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රශ්න කළ අවස්ථාවේ අගමැතිවරයා ඊට පිළිතුරු ලබා දුන්නේ අවසන් වරට මහින්ද රාජපක්ෂ රජය යටතේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවිය දැරූ ක්‍රිස් නෝනිස්ට එවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් පහර දීමේ සිද්ධිය සිහිපත් කරමිනි.

‘අපි මහා බ්‍රිතාන්‍යයට හොඳ එක් කෙනෙක් යවනව. මහා බිතාන්‍යය සමඟ සබඳතා හොඳින් දියුණු වී තිබෙනවා’ අගමැතිවරයා ප්‍රකාශ කළේය.

Image copyright HARSHA DE SILVA
Image caption නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් දක්වමින් ‘සුදුසු පුද්ගලයෙකු’ ලද වහාම ඔහු හෝ ඇය එම තනතුර සඳහා පත් කරන බවයි කියා සිටියේ.

දේශපාලන පත් කිරීම්

විදේශ කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව රජය මගින් විදේශ සේවය සඳහා සිදු කර ඇති දේශපාලන පත්වීම් පිළිබඳව සංඛ්‍යාලේඛනයක් සභාගත කළේය.

විදේශ සේවය තුළින් පත් කිරීම් විසි හතරක් ද, විදේශ සේවයට පිටින් පත් කිරීම් විසි තුනක් ද වශයෙන් සමස්ත පත්වීම් හතළිස් හතක් සිදු කර ඇති බවයි සිල්වා සඳහන් කළේ.

පුරප්පාඩු පිරවීමේ දී 70% ක් විදේශ සේවයෙන් සහ 30% ක් විදේශ සේවයට අයත් නොවන පුද්ගලයන්ගෙන් පත් කෙරෙන රෙගුලාසිය මෙහි දී කඩ කර තිබෙනවාදැයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා රජයෙන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ ‘දැනට සමස්ත විදේශ සේවයේ සිටින විදේශ සේවාවට අයත් නොවන නිලධාරීන්ගේ සංඛ්‍යාව 29% ක් පමණක් වන බවයි.

Image caption අනුර කුමාර දිසානායක(පා.ම.)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අදහස් දක්වමින්, ප්‍රධාන රටවල් ගණනාවක තානාපතිවරුන් ලෙස පත් කරනු ලැබ සිටින පුද්ගලයන්ගේ ප්‍රධාන සුදුසුකම වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වීම පමණක් වන බවයි කියා සිටියේ.

ශක්තිමත් විදේශ සේවයක්

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ‘කඩා වැටී ඇති විදේශ සේවයේ නිලධාරීන්ට වඩා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට ඇති විදේශ සම්බන්ධකම් හේතුවෙන්’ එම පත්වීම් සිදු කළ බවයි.

‘විදේශ සේවයේ අයට ඒ සම්බන්ධකම් නැහැ. ඇත්තම කිව්වොත් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට පුළුවන්- වුවමනා නම් බ්‍රිතාන්‍ය විදේශ ඇමතිට කතා කරල ප්‍රශ්න විසඳන්න. මේ අවුරුද්ද දිවුවේ විදේශ සේවය නිසා නොවෙයි, අපේ සම්බන්ධතා නිසයි’ අගමැතිවරයා ප්‍රකාශ කළේය.

විදේශ සේවයේ නිලධාරීන් පුහුණු කර ඉදිරි කාලයේ දී ශක්තිමත් විදේශ සේවයක් නිර්මාණය කරන බවද අගමැතිවරයා අවධාරණය කරයි.

Image caption බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් සහ සජින් වාස් ගුණවර්ධන(පා.ම.)

තානාපති නිලධාරීන් පත් කිරීමේ දී 70% ක් විදේශ සේවයෙන් ද 30% ක්‌ විදේශ සේවයේ නොවන අයගෙන් ද වශයෙන් පත් කළ යුතු බවට කිසිදු නීතියක් නොමති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.