දියෙන් වට වී දිය දෝතක් ඉල්ලන යාපනයේ වැසියෝ

Image caption 'වතුර බව්සරය එන කොට මෙතන පෝලිම. බෝතල් කෑන් අරගෙන මිනිස්සු පිරිලා. ඇත්තටම බව්සරෙන් වතුර බෙදලා අපේ පිපාසය නිවන්න බෑ'

මේ දිනවල යාපනය අර්ධද්වීපයට වරින්වර වැසි ඇදහැලුනද තමන් පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව යාපනයේ දුෂ්කර ගම්වල වැසියෝ පවසති.

ප්‍රධාන නගර පදනම් කර ගනිමින් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි ගම්වල වෙසෙන ජනතාව පානීය ජල පහසුකම් නොමැතිකමින් පීඩා විඳින බවයි වේලනෙයි ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන බාලසිංහම් තවපාලන් කියා සිටියේ.

'යාපනේට දැන් වැස්සට අප්‍රේල් අග ඉඳලා ජුලි වෙනකම් දරුණු විදියට පායනවා. ඒ කාලේට ළිං හිඳෙනවා. මිනිස්සු වතුර නැතුව ලොකු දුකක් විදිනවා. මේ කාලේ හොදට වහිනවා. සමහර ඉඩම් වතුරෙන් යට වෙලා. මාසයක් දෙකක් වතුර රැඳිලා තියනවා. ඒ වුනාට බොන්න වතුර නෑ. මේ වතුර බොන්න බෑ. කිවුලයි. අපිට වගාවක් කර ගන්න බැරි තරමට ඉඩම් වතුරෙන් යට වෙලා.' හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යාපන අර්ධද්වීපයේ දුෂ්කර ගම්මානවල මංමාවත් බොහොමයක ජලය පිරි වතුර වළවල් සෑදී ඇති අයුරු එහි යන අයට දැක ගත හැකියි.

එවැනි දුෂ්කර ගම්මානවල පිහිටි නිවාස වටා ඇති ඉඩම් වැසි ජලයෙන් යට වී තිබේ.

එවැනි තත්වයක් යටතේ කුඩා දරුවන් ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන් එම නිවාසවල දිවි ගෙවන අයුරු දැක ගත හැකියි.

වේලනෙයි වන්කලවඩි ගම්මානයේ බොහොමයක් වැසියන්ගේ තත්වයද ඉන් වෙනස් නොවේ.

ඇතැම් ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සපයනු ලබන නමුත් එයාසීමා සහිත වේ.

මන්ඩතිව් දූපතේ පදිංචි ධීවරයකු වන පනස් පස් වියැති දොන් බොස්කෝ කියා සිටියේ දූපතේ තමන් පදිංචි කොටසට වේලනෙයි ප්‍රාදේශීය සභාව මගින් දිනකට එක් වරක් බව්සර ආධාරයෙන් වතුර බෙදන නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි.

'වතුර බව්සරය එන කොට මෙතන පෝලිම. බෝතල් කෑන් අරගෙන මිනිස්සු පිරිලා. ඇත්තටම බව්සරෙන් වතුර බෙදලා අපේ පිපාසය නිවන්න බෑ. දැන් ප්‍රාදේශීය සභාව විසුරැවලා නිසා අපේ ගැටළු කියන්න මහජන නියෝජිතයෝ කවුරුවත් නෑ. සමහර ප්‍රශ්න එයාලට කිව්වට විසඳුම් ලැබෙන්නෙත් නෑ.' දොන් බොස්කෝ පැවසීය.

ළඟ එන නත්තල පිළිබඳ බලාපොරොත්තු දල්වා ගෙන සිටින ආකාරය මන්ඩතිව් දූපතේ දරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් පිළිබිඹු වේ.

ගමේ පල්ලිය තීන්ත ගා පිරිසිදු කොට නත්තලට සැරසෙන අතරේ නත්තල අසිරියේ නැවුම් අත්දැකීම් ලබන බලාපොරොත්තුවෙන් දරුවෝ පසු වෙති.

Image caption 'සමහර ඉඩම් වතුරෙන් යට වෙලා. මාසයක් දෙකක් වතුර රැඳිලා තියනවා. ඒ වුනාට බොන්න වතුර නෑ. මේ වතුර බොන්න බෑ. කිවුලයි'

ජල හිඟය, මව්පියන් මුහුණ දෙන ආර්ථික ගැට‍ළු හෝ වැසි දියෙන් මංමාවත් යට වී තිබීම කුඩා දරුවන්ට ගැට‍ළුවක් වී නොමැති හැඩකුයි පෙනෙන්න තිබුණේ.

මේ අතර වේලනෙයි ප්‍රාදේශීය ලේකම්වරිය මංජුලාදේවී සතාසිවම් කියා සිටියේ ඇතැම් ප්‍රදේශ ඉලක්ක කොට ආසියානු සංවර්ධන බැංකුවේ සහ වෙනත් විදේශ ආධාර ඇතිව පානීය ජල ව්‍යාපෘති මේ වන විට ආරම්භ කොට ඇති බවයි.

එම ව්‍යාපෘති අවසන් වූ විට පානීය ජල ගැට‍ළුවට විසඳුම් ලැබෙනු ඇති බවට වේලනෙයි ප්‍රාදේශීය ලේකම්වරිය විශ්වාසය පළ කරන්නීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර