'අනවසර' විදුලි රැහැනක ගැටී වන අලියෙක් මරුමුවට

Image caption වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද ඉරිදා සිදු කිරීමට නියමිතයි

හම්බන්තොට රණමයුරපුර නාගර වැව ප්‍රදේශයේ කෙසෙල් වගාවක් සඳහා යොදා තිබූ ගෘහස්ථ විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරුමුවට පත් වී ඇත.

සෙනසුරාදා, හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී විදුලි සැර වැදී මිය ගිය වන අලියාගේ සිරුර හමු වී තිබේ .

මෙලෙස මරණයට පත් වන අලියා වයස අවුරුදු 22 ක පමණ පිරිමි සතෙකු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු උඩවලව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද ඉරිදා සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් හම්බන්තොට බැරගම ප්‍රදේශයේ හා බැල්ලගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙම සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදන බවයි වනජීවී නිලධාරීන් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර