අපිට දැන් සාමය දිනා ගන්න අවශ්‍යයි - අගමැති

Image copyright Getty
Image caption 'මේ යුද්ධයට යන්නේ, ජීවිතය පූජා කරන්නේ, අංගවිකල වෙන්නේ හමුදාවේ අය. ඒ කීර්තිය අපි හමුදාවට දෙන්නේ අවශ්‍යයි.'

හමුදා සොල්දාදුවන් ජීවිත පූජා කොට ලබා ගන්නා ජයග්‍රහණ යොදා ගෙන තම ප්‍රතිරූපය නංවා ගැනීමට දේශපාලනඥයන්ට යුතුකමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

"මේ යුද්ධයට යන්නේ, ජීවිතය පූජා කරන්නේ, අංගවිකල වෙන්නේ හමුදාවේ අය. ඒ කීර්තිය අපි හමුදාවට දෙන්න අවශ්‍යයි. අපි හමුදාවේ ප්‍රතිරූපය හදන්න ඕනි," අගමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ආධුනික සෙබළුන් විසිර යාම වෙනුවෙන් දියතලාව යුද හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති උත්සවය අමතමින්.

එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කොට ඇති නමුත් සාමය දිනා ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

"අපිට දැන් සාමය දිනා ගන්න අවශ්‍යයි. වසර තිහක යුද්ධයකින් බෙදුණ, උතුරු නැගෙනහිර සටන්වලට මැදි වෙලා නිවාස අහිමි වූ ජනතාව, දකුණේ ජීවිත නැති වූ ජනතාව, ජාතිවාදය නිසා බෙදුණු ජනතාව ඒකට එකතු කිරීමේ වගකීම අපිට තියෙන්නේ."

ජාත්‍යන්තරයේ සහායද ඇතිව සංහිඳියාව ඇති කරනු වස් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අගමැතිවරයා කියා සිටියේය.

'තුවාලයට බෙහෙත්'

Image copyright Getty
Image caption ශ්‍රී ලංකා යුද හමුදාවේ ආධුනික සෙබළුන් විසිර යාම වෙනුවෙන් දියතලාව යුද හමුදා පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති උත්සවය

"තුවාලයක් ඇති වුනාම බෙහෙත් කරන එක ලේසිපහසු දෙයක් නොවෙයි. තුවාලයක් සුව වෙන කොට ඇතැම් විට අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා යොදා ඇති වෙළුම් ගලවන කොට. නමුත් අප සියලු දෙනා එක් වී අලුත් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට අවශ්‍යයි."

සංහිඳියාව ඇති කොට ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා යන ගමනේදී ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවට විශේෂ වගකීමක් පැවරෙන බවයි අගමැතිවරයා සඳහන් කළේ.

"2009 වසර වන තුරු අපි සටන් කළේ විසි වන ශතවර්ෂයේ වෙනත් රාජ්‍යයක් අවශ්‍යයි කියලා ඒ රාජ්‍යයේ භූමි ප්‍රදේශය අල්ල ගන්න තැත් කරපු ත්‍රස්තවාදී හමුදාවක් එක්ක. ඒත් දැන් අපට මුහුණ දෙන්න තියන ලෝකය ඊට වෙනස්. ත්‍රස්තවාදීන් දැන් වෙනස්. යුද්ධ කරන ආකාරයත් ක්‍රමානුකූලව වෙනස් වෙනවා."

නව අභියෝග ජය ගැනීම සඳහා යුදමය වශයෙන් දියුණු රටවල් සමග සබඳතා ඇති කර ගත යුතු බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

ඉතිහාසය

Image copyright Getty
Image caption තුවාලයක් සුව වෙන කොට ඇතැම් විට අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා යොදා ඇති වෙළුම් ගලවන කොට'

"ඒ නිසා ඇමරිකාව, බ්‍රිතාන්‍ය බටහිර රටවල් එක්ක ඒ සම්බන්ධය තිබෙන ඒක වැදගත්. චීනය, ඉන්දියාව හා පාකිස්ථානය එක්කත් ඒ සම්බන්ධය තියා ගන්න අවශ්‍යයි. ඒ සම්බන්ධය නිසා තමයි ශ්‍රී ලංකාවේ හමුදාව දියුණු වුනේ."

1942 වසරේ දෙවන ලෝක යුද්ධය අතරතුර අග්නිදිග ආසියාවේ හමුදා පාලනය කරනු ලැබුවේ ශ්‍රී ලංකාව විසින් බවත් ඔහු එහිදී සඳහන් කළේය.

"ලංකාවේ මේ දූපත විතරක් නොවෙයි. ඉන්දියන් සාගරයේ නාවුක හමුදා ගුවන් හමුදා, බුරුමයේ දාහතර වන හමුදාව. ඒ වගේම චීනයේ චියන් කායි ෂෙක් මැතිතුමා යටතේ තිබූ හමුදා, ඒ සියල්ල ලංකාවෙන් පාලනය වෙලයි මේ සම්බන්ධය අපිට ඇති වුනේ."

විදේශ සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යන අතරතුර 'විශේෂයෙන්ම අනාගත ලෝකයට සරිලන සේ අපේ රට හදනවා නම් අපේ වගකීම් තිබෙන්නේ ලංකාවෙන් පිට' අගමැතිවරයා කියා සිටියේය.

නේපාලයේ භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව එහි ගොස් ආධාර කිරීම සහ එක්සත් ජාතීන්ගේ සාමය රැකීමේ පමණක් නොව සාමය ක්‍රියාත්මක කිරීමේ හමුදාවේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකා හමුදාව අප්‍රිකාවේ මාලි රාජ්‍ය බලා යෑමට සූදානම් වීම ඊට උදාහරණ වශයෙන් අගමැතිවරයා ගෙනහැර දැක්වීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර