පාරු පාලමෙන් ළඟදීම ඉන්දියාවට

Image copyright Getty
Image caption රුසියාවේ මගී යාත්‍රාවකින් සංචාරය කරන කණ්ඩායමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී පාරු යාත්‍රා කරවීම ළඟඳීම ආරම්භ කරන බව වරාය සහ නාවික ඇමති අර්ජුන රණතුංග පවසයි.

තලෙයිමන්නාරම සහ රාමේශ්වරන් අතරත් ටුටිකෝරින් සහ කොළඹ අතරත් මගී මුහුදු යාත්‍රා සේවය යළි ආරම්භ කිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ඉන්දියාවේ නාවික අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර ඒ පිළිබඳව බීබීසිය කළ විමසුමකට පිළිතුරු දෙමිනුයි ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

දකුණු ඉන්දියාවේ සිට විශාල ජනකායක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන අතර ගුවන් මගින් ගමන් ගැනීමට දුෂ්කර ජනතාවට මගී පාරු සේවයක් පහසුවක් වෙන බව වරාය සහ නාවික කටයුතු භාර ඇමති ඇමතිවරයා පෙන්වා දෙයි.

අඩු වියදම් සංචාරයක්

එසේම භාණ්ඩ ප්‍රවාහනයේ දී පාරු සේවයක් පැවතුනොත් ‘අඩු වියදමකින් විශාල භාණ්ඩ තොග එහා මෙහා ගෙන යාමට අවස්ථාව ලැබෙන’ බවත් අර්ජුන රණතුංග ඇමතිවරයා පෙන්වා දෙයි.

Image caption ඇමති අර්ජුන රණතුංග

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සුලබ වීමට පෙර දෙරට අතර සංචාරය කරන වැඩි ජනකායක් තලෙයි මන්න්රමේ සිට ඉන්දියාවට මගී පාරු මගින් ගමන් ගැනීමට පුරුදුව සිටි අතර දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි දෙනෙක් යොදා ගත්තේ පාරු සේවයයි.

එහෙත් යුද්ධය උග්‍ර අතට හැරීමත් සමඟ ආරක්ෂක කරුණු මුල් කර ගනිමින් එම පාරු සේවය අඩාල විය.

මෝඩිගේ අවධානයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එම පාරු සේවය යළි ආරම්භ කිරීමේ උවමනාව පිළිබඳව තමා සහ ශ්‍රී ලංකා අගමැතිවරයා ඉන්දීය නායකයා සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළ වරාය සහ නාවික ඇමති අර්ජුන රණතුංග, මෙය ක්‍රියාවට නැංවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවයි සඳහන් කළේ.

ඒ අනුව පාරු සේවය යළි පණ ගැන්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තවත් සති කීපයක් ගත වෙන බවත් ඇමතිවරයා පවසයි.

කෙසේ වුවද නුදුරු අනාගතයේ ඉන්දියාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව සුදුසු ක්‍රමවේදයක් යටතේ ඉහත කී පාරු සේවය ස්ථිරවම යළි ආරම්භ කරන බවත් අමාත්‍ය අර්ජුන රනතුංග කියා සිටියි.

ජාතික ආරක්ෂාව

Image copyright Presidents Media Division
Image caption ජනාධිපතිවරයා උතුරේ ළමුන් සමඟ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගමනා ගමනය පහසු කෙරෙන මෙවැනි ක්‍රියාමාර්ග රටේ ආරක්ෂාවට තර්ජනයක් වන බවට ඇතැම් කණ්ඩායම් නගන චෝදනාව පිළිබඳව බීබීසිය විමසූ විට ඇමතිවරයා කියා සිටියේ 'පාර්ලිමේන්තුවට ඇතුල් වීම සඳහා ජාතිවාදය සහ ආගම් වාදය ආයුධයක් කර ගනු ලබන පුද්ගලයන්ට තමන් ඇහුම් කන් නොදෙන' බවයි.

ජනාධිපතිවරයා යුද්ධය නිසා දුෂ්කර තත්වයට වැටී තාමත් කඳවුරු ගතව සිටින උතුරු පළාතේ ජනතාව පසුගියදා මුණ ගැසුණ බව සඳහන් කළ අර්ජුන රණතුංග ඇමතිවරයා එම ජනතාව කලින් සිටි ස්ථාන වල පදිංචි කිරීමට තීන්දු කර ඇති බවත් සඳහන් කළේය.

එම සියලුම කටයුතු කෙරෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයට බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.