ඉන්දියාවෙන් දොස්තරලා ගෙන්වන්නේ නැහැ -රජය

Image copyright Getty

ඉන්දියාවේ වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ පැමිණ සේවය කිරීමට ඉඩ ලබා දෙන කිසිදු ගිවිසුමකට රජය එකඟ වී නොමැති බව රජය පැවසීය.

ඇතැම් වෘත්තිය සමිති එවන් ප්‍රචාරයක් ගෙන යමින් වෘත්තිකයන් නොමග යවමින් වර්ජනයකට සුදානම් වන බව චෝදනා කරමිනුයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ රජයට අනතුරු ඇඟවීමක් සිදු කළේ තමන්ගේ ගැටළු සති දෙකක කාලයකින් විසඳීමට කටයුතු නොකළහොත් වර්ජනයක් දියත් කරන බව පවසමින්.

Image copyright Harsha De Silva

අයවැය යෝජනා වලට විරෝධයට අමතරව ඔවුන් මතු කළ එක් ප්‍රධාන විරෝධයක් වුයේ ඉන්දු ලංකා ආර්ථික ගිවිසුමක් අත්සන් කිරීම මගින් ඉන්දීය වෛද්‍යවරුන් හා අනිකුත් වෘත්තිකයන්ට ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලක් ඇති බවයි.

"ඔය කියන චෝදනාවට අනුව අපි අත්සන් කරන ගිවිසුම අනුව ඉන්දියාවේ දොස්තරලා මෙහෙ ඇවිල්ලා ඩිස්පෙන්සරි දාලා බෙහෙත් දානවා, ගෘහ නිර්මාණ ශිල්පියෝ හා අනිකුත් වෘත්තිකයන් මෙහෙ ඇවිල්ලා රැකියා කරනවා, එහෙම එක්ක නැහැ, වගකීමෙන් කියන්නේ" නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"දැන් නැව් හදන්න විශේෂඥයන් නැත්නම් එහෙනම් විශේෂ වැඩපිළිවෙළක් යටතේ ඔවුන් ගෙන්වා ගන්න වැඩපිළිවෙළක් තියෙන්න පුළුවන්, අපිට ඒ විශේෂ දැනුම නැත්නම් විතරක් " ඔහු තවදුරටත් පැවසීය.

Image copyright SPL

බොරු ප්‍රකාශවලට රැවටී වර්ජන නොකරන ලෙසයි ඔහු වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියේ.

කිසිම අවස්ථාවක විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සමග බැඳීමට රජය අවකාශය ලබා නොදෙන බවයි මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය කබීර් හෂීම් අවධාරණය කළේ.

"ගෝඨාභය රාජපක්ෂ කළමනාකරණය කල ලංකා හොස්පිටල් ආයතනයේ ඉන්නේ ඉන්දීය දොස්තරවරු නෙවෙයිද? නොරොච්චෝලේ අපේ ඉංජිනේරුවන්ට කරන්න පුළුවන් කියද්දී චිනෙනේ ගෙන්නුවේ කවුද? දැන් ඒගොල්ලෝ චෝදනා කරන්නේ කොහොමද ?" ඔහු ප්‍රශ්න කරයි.

රජයේ සේවකයන්ට ලබා දුන් රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 2,500ක් වැටුපට එකතු කිරීමේදී වැටුප් විෂමතාවන් ඇති වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මතු කළ ප්‍රශ්නයක් ගැන විමසීමේදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පැවසුවේ එවන් ගැටලුවක් පැන නැගෙන බවයි.

"ඉහල පහල වැටුප් අනුපාතය 4 ට 1 යි, 10,000 වැටුපට එකතු කිරීමේදී යම් ගැටළුවක් මතු වෙනවා, ඉහළ මට්ටමේ අයගේ වෙනස් වීමක් සිදු විය යුතු බව අපි පිළිගන්නවා, හැබැයි 4 අනුපාතය 3.5ක් වුනා කියලා ඉස්පිරිතාල වහන එක හරි නැහැ" නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.