සෞදි ශ්‍රී ලාංකික කත මරණයෙන් බේරෙයි

Image copyright EPA
Image caption සෞදි අරාබිය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව කොළඹදී විරෝධතා ගණනාවක්ම පැවැත්විණ

ශ්‍රී ලාංකික කාන්තාවකට ගල් ගසා මරා දැමීම සඳහා නියම කෙරුණ අධිකරණ නියෝගය සෞදි අරාබි බලධාරීන් විසින් ඉවත් කර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම කාන්තාව මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ තිබුණේ අනාචාරයේ හැසිරීමේ චෝදනා යටතේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද ඉල්ලීම සලකා බලමින් සෞදි අරාබිය එම කාන්තාවට ගල් ගසා මරා දැමීම සඳහා දී තිබුණ දඬුවම ඉවත් කර ගෙන ඇති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ.

මරණ දඬුවමට යටත් නොකරන නමුත් ඇය වසර කීපයක සිර දඬුවමකට යටත් කෙරෙනු ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

ගෘහ සේවිකාව ගල් ගසා මරා දැමීමේ දඬුවමට යටත් කෙරුනේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

නව අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් බීබීසිය සිදු කළ විමසීමක දී අදහස් දක්වමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් සඳහන් කළේ කලින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අධිකරණය විසින්ම අභියාචනය විභාග කළ අතර එහිදී නැවත සාක්ෂි දුන් චූදිත ශ්‍රී ලාංකික කාන්තාව තමා පළමු නඩු විභාගයේ දී චෝදනාවට වරද භාර ගත්තේ වැරදීමකින් බව කියා සිටි බවයි සඳහන් කළේ.

පළමු නඩු විභාගය සිදු කෙරුණ මොහොතේ මුහුණ දී සිටි පීඩාකාරී තත්වය හමුවේ චූදිත කාන්තාව වරද පිළිගෙන ඇති බව ඇය අභියාචනා විභාගයේ දී කියා සිටි බවයි ශ්‍රී ලංකා තානාපතිවරයා පවසන්නේ.

විවාහක කාන්තාවක් වීම හේතුවෙන් පළමු නඩු විභාගයේ දී කාන්තාව ගල් ගසා මරා දැමීමේ දඬුවමට යටත් කෙරුණ අතර සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික පුරුෂයා විවාහක අයකු නොවීම නිසා ඔහුට කස පහර සියයක් දඬුවමක් නියම විය.

සෞදි අරාබිය විසින් දෙන ලද තීන්දුවට එරෙහිව කොළඹදී විරෝධතා ව්‍යාපාර ගණනාවක් පැවති අතර ඉහත කී දඬුවමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන කෙරෙන් ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑම් එල්ල විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර