හිරුණිකාගේ කණ්ඩායම රක්ෂිත බන්ධනාගාරයට

Image caption හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දුන් බවට චෝදනා ලබන මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පවත්වන ලෙසද අධිකරණය නිර්දේශ කර ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ අපරාධය සඳහා උපයෝගී කර ගෙන ඇති ඩිෆෙන්ඩර් රථය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ බව තහවුරු කර ගෙන ඇති බවයි.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක්

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Image caption හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ජනාධිපතිවරිය සමඟ

ඉදිරිපත් වූ එම කරුණු සලකා බලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් ලබන ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එසේම එම දිනයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නඩු විභාගයෙන් අනතුරුව ජන මාධ්‍යවලට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ පුද්ගලයකු පැහැර ගැනීම සහ ඔහුට පහර දීම තම අනුදැනුමකින් තොරව සිදු වූ එකක් වන බවයි.

ආධාරකරුවන් වැරදියි

තම ආධාර කරුවන්ගේ ක්‍රියාව වරදක් ලෙස තමා පිළිගන්නා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

Image caption මන්ත්‍රීවරිය ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟ

විත්තියේ නීතිවේදීන් අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් සැකකරුවන්ගේ ඡායාරූප එක්තරා රූපවාහිනී නාලිකාවක් මගින් ප්‍රදර්ශනය කර ඇති නිසා ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි කියා සිටියේ.

එම විරෝධතාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වෙන අවස්ථාවේ ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.