උසස්වීම් ගැන අනධ්‍යයන සේවක මැසිවිලි

Image copyright newsfirst.lk

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල උසස්වීම් ලබා දීම සම්මත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට එම අමාත්‍යාංශය පියවර ගැනීමෙන් අට දහසකට වැඩි ජ්‍යෙෂ්ඨ අනධ්‍යයන සේවයකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි වෘත්තීය සමිතියක් චෝදනා කරයි.

ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් ඒ.කේ.ඩබ්.විජේසේකර බීබීසී සංදේශයට පැවසීය.

මෙම උසස් වීම් ලබා දී ඇත්තේ දීර්ඝ සති අන්තයක් ආරම්භයේ බව පවසන වෘත්තීය සංගම් ලේකම්වරයා, එසේ කර ඇත්තේ අධිකරණයකින් වාරණ නියෝගයක් ලබා ගැනීම වැළැක්වීමට විය හැකි යැයි අනුමාන කරයි.

'සටනකට'

වත්මන් අධ්‍යාපන ලේකම්වරයා මෙම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය උල්ලංඝණය කර පිරිනමා ඇති අනධ්‍යයන සේවක උසස් වීම් වහාම අහෝසි කරන මෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව පවසන වෘත්තීය සංගම් ලේකම්වරයා, රජය ඊට යහපත් ප්‍රතිචාරයක් පළ නොකරන්නේ නම් අහිමි වූ තම අයිතිවාසිකම් ලබා ගැනීමට වෘත්තීය සටනකට අවතීර්ණ වන්නට සිදු වන බවත් සඳහන් කළේය.

මධ්‍යම ආණ්ඩුව යටතේ ඇති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු අභ්‍යාස විද්‍යාල, ජාතික පාසල් හා ගුරු මධ්‍යස්ථානවල මෙන්ම පළාත් සභාවල අධ්‍යාපන දෙපාර්තමේන්තු යටතේ ද අධ්‍යාපන අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් සේවය කරන බව ද, වෘත්තීය සංගම් ලේකම්වරයා පවසයි.

පටිපාටිය

මෙම අමාත්‍යාංශය යටතේ අනධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරු 24ක් ඇති බවත් 2013 වසරේ ආරම්භ වූ විධිමත් උසස් වීම් පටිපාටිය උල්ලංඝණය කරමින් වත්මන් අධ්‍යාපන ඇමතිවරයා නව රජය බලයට පත්වීමෙන් පසු සේවයට බඳවා ගත් තවමත් පරිවාස කාලය ගත කරන අනධ්‍යයන සේවකයන්ට උසස් වීම් ලබා දී ඇති බව වෘත්තිය සංගම් ලේකම්වරයා චෝදනා කරයි.

මෙම උසස් වීම් පිරිනමන්නට පෙර ජ්‍යෙෂ්ඨ සේවකයන්ගෙන් අයදුම්පත් පවා කැඳවා තිබූ බව ද වෘත්තීය සංගම් ලේකම්වරයා පෙන්වා දෙයි.