ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙමළ ජනතා සභාවේ එකම මහජන නියෝජිතයා විග්නේශ්වරන් - සම්බන්ධන්

දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාතේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් අතර ඊයේ සිකුරාදා (26) කොළඹ දී පැවැත්වුන සාකච්ඡා සාර්ථකව නිම වූ බව දෙපාර්ශවය පවසති.

මහ ඇමති විග්නේශ්වරන් දෙමළ ජනතා සභාව(TPC) නමින් නව සංවිධානයක් පිහිටුවනු ලැබීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය දෙකඩ විය හැකි තත්වයක් උද්ගතව ඇති බවට දේශපාලන අනාවැකි පළ වෙමින් තිබුණි.

එවැනි වාතාවරණයක් පවතින අතරවාරයේ මතු වී තිබුණ මතභේද කොළඹ දී පැවැත්වුන සාකච්ඡා මගින් නිරාකරණය කර ගත් අතර අන්‍යෝන්‍ය වටහා ගැනීම තහවුරු කර ගත් බවයි, BBCය සමඟ පැවැත්වුන සාකච්ඡාවක දී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කළේ.

‘අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒක සුහද සාකච්ඡාවක්. දමිළ ජනතාවගේ අනාගතය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා’ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

නිත්‍ය විසඳුම්

එසේම දෙමළ ජනතා ප්‍රශ්න සඳහා නිශ්චිත විසඳුම් ලබා ගැනීමට ගත යුතු මග පිළිබඳවත් තමා සී.වී.විග්නේශ්වරන් මහ ඇමතිවරයා සමඟ සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියි.

ඉහත කී සාකච්ඡා පිළිබඳව මහ ඇමති විග්නේශ්වරන් BBC යට අදහස් දක්වමින් කියා සිටියේ ‘සාකච්ඡා මාර්ගයෙන් වැරදි වටහා ගැනීම් තුරන් කර ගත්’ බවයි.

‘අලුතින් පිහිටුවා ගන්නා ලද සංවිධානය ගැන මම සම්බන්ධන් මහත්මයාට දැනුම් දුන්නා. එතුමා කිව්වේ -අපේ අරමුණ යහපත් එකක් නම් ගැටළුවක් නොමැති බවයි. අපි ගොඩ නැගුවේ දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ සංවිධානයක් නොවෙයි. ඒක එතුමා පිළිගත්තා’ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් BBC යට ප්‍රකාශ කළේය.

එකම මහජන නියෝජිතයා

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කළේ, මහ ඇමති විග්නේශ්වරන් සිය සන්ධානයට මිස වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නැති අතර දෙමළ ජනතා සභාව (TPC) වටා එක් වී සිටින අයගෙන් වැඩි දෙනා මහ මැතිවරණයෙන් පරාජය වූවන් වන බවයි.

ඔවුන් අතර සිටින එකම මහජන නියෝජිතයා මහ ඇමති විග්නේශ්වරන් පමණක් බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කියා සිටින්නේ.