ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇඳුම් නැතිව පාරේ යන නිදහසද ඉල්ලන්නේ? - ජනපති

පසුගියදා කොළඹ පැවති සංගීත සංදර්ශනයේදී තරුණියන් හැසිරුණු ආකාරය පිළිබඳව තමන් කළ ප්‍රකාශයට දැඩි විවේචනයට ලක්වුවත් සිය ස්ථාවරය වෙනස් නොකරන බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ නොදෙන බව යළිත් වරක් අවධාරණය කරයි.

පසුගියදා කොළඹ පැවැත්වුන එන්රිකේ ඉග්ලේශියස්ගේ සංගීත සංදර්ශනයේදී තරුණියක සිය තනපටය ගායකයා වෙත විසි කිරීමත්, තවත් තරුණියක් ඔහු වැළඳ ගැනීමත් ප්‍රබල අවධානයට ලක්විය.

එය 'අශිෂ්ඨ සහ අසංවර' හැසිරීමක් ලෙසින් පසුගිය ඉරිදා අම්පාරේ පැවති උත්සවයකදී විග්‍රහ කළ ජනාධිපතිවරයා, මින් අනතුරුව එවැනි සංදර්ශනවලට අවසර නොදෙන බව අවධාරණය කළේය.

එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල විවේචනයට ලක් විය.

ජනාධිපතිවරයා එම විවේචන විග්‍රහ කරන්නේ දේශීයත්වය ආරක්ෂා කිරීමට උත්සාහ කළ තමාට 'වටකරගෙන පහරදීමක්' ලෙසින්.

"මාව නැතිකරන්න හදන හැමකෙනෙකුටම මම කියන්න ඕන නැතිකරන්න හදන්නේ මේ රටේ දේශීයත්වය," ජනාධිපතිවරයා පැවසුවේ අඟහරුවාදා කොළඹ පැවති උත්සවයක් අමතමින්.

"මේ ඉල්ලන සංස්කෘතික නිදහස කුමක්ද? ඇඳුම් නැතිව පාරේ යන නිදහසද මේ ඉල්ලන්නේ?" ඔහු ප්‍රශ්න කළේය.

පසුගිය වසරේ රාජපක්ෂ පරිපාලනයෙන් ඉවත්වී නව ආණ්ඩුවක් පිහිටවූයේ ශ්‍රී ලංකාවේ දේශීයත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.