'පවුලේ පස්දෙනෙක් නැති වෙලත් හිතේ හයියෙන් ජීවත් වෙනවා'

Image caption 'මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ.'

"මේක වෙන කොට අපේ ගෙදර එකොළොස් දෙනෙක් හිටියා. අපේ ලොකු දුවත් ඇවිත් හිටියා. එයාට බබා හම්බ වෙලා ඒ වෙන කොට දවස් 15 යි. අපේ ගේ ඉස්සරහෙන් කීප දෙනෙක් කෑ ගහහෙන දිව්වා මුහුද එනවා කියලා. අපි ඉතිං විශ්වාස කළේ නැහැ. කවුද හිතන්නෙ මුහුද ගොඩට එයි කියලා. අපේ ගේ වටේට තාප්පෙ නිසා අනිත් අයට වතුර එද්දිත් මුලින් ටික ටික ආපු වතුර පාර අපිට ආවෙ නැහැ. ඒත් තවත් අය කෑ ගහගෙන යනකොට මම එළියට බැස්සා. ඒ වෙන කොට මගේ අඩි දෙකක් විතර උසට වතුර.මම ඒ වෙලාවේ නෝනාට කිව්වා දරුවො ටිකත් අරන් දුවන්න කියලා. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩියි."

2004 වසරේ දෙසැම්බර් 26 වනදා තමා ඇතුළු පවුලේ සාමාජිකයන් සුනාමියට ගොදුරු වූ අයුරු සිහිපත් කරමින් ඒපී සෝමදාස සිය මතකය අවදි කළේ එලෙසින්.

එවකට තංගල්ල කුඩාවැල්ලේ පදිංචිව සිටි හැටහතර හැවිරිදි ඒපී සෝමදාස කලක් කුඩාවැල්ල සමූපකාරයේ කළමනාකරු ලෙස සේවය කළ අයෙක්. පසුව නිවසේම වෙළඳසැලක් පවත්වාගෙන යමින් යහමින් ජීවත් වූ ඔහුගේ පවුලට හිටි හැටියේ සිදු වූයේ කිසි කලෙකත් නොසිතූ විපතක්.

Image caption සුනාමි ව්‍යාසනයට හසු වූ ඒපී සෝමදාසගේ නිවස පිහිටි ස්ථානයේ වර්තමාන තත්ත්වය

"බබා ලැබිලා උන්නු දුව ඒ බබාවත් අරන් දිව්වා. මගේ නෝනයි පුතාගේ නෝනයි එයාලගේ බබාලා දෙන්නයිත් දිව්වා. මගේ ලොකු දුව කිව්වා මට යන්න බැහැ කියලා. එයා ඔපරේෂන් කරලයි හිටියේ. එතකොට ආයෙමත් රැල්ලක් ආවා. මට දැනුනා ලොකු දුව නැහැ කියලා. ඒ එකක්ම එතන තිබ්බ තාප්පෙ කඩාගෙන වැටුනා. ලොකු දුවගේ දුව මගේ බෙල්ලේ එල්ලුණා. අපි ගිහින් ඉස්සරහා තිබුණ පියස්සක එල්ලුණා. ඒත් පියස්ස කැඩුනා. ඒපාර අපිව ගහගෙන ගියා. යාන්තං පොල් අත්තක් පහත් වෙලා තිබුණා. ඒක අල්ල ගද්දි පොල් අත්ත කැඩුනා. ඒ වෙලේ දුවව අත ඇරුනා. මම කෑ ගැහුවා දුවා දුවා.. කියලා. එතකොට දුව ඊට පහලින් පොල් ගහක ඉඳන්කෑ ගැහුවා සීයේ මම මෙහේ කියලා."

මගේ ඇගේ ඇඳුමක් වත් තිබුණේ නැහැ. ගහගෙන ආපු රෙදි කෑල්ලකින් විලි වහගෙන මම දුව ළඟට ගියා. මට හරි හමන සිහි කල්පනාවකුත් නැහැ. වතුර අඩු උනාට පස්සේ මම යාළුවකුගේ මොටර් සයිකලේකින් පවුලේ අය ගහගෙන ගිය පැත්තට ගියා. මට හම්බ උනේ ලොකු දුවව විතරයි."

තමන්ගේ බිරිඳ, වැඩිමහල් දියණිය සහ ඇයගේ පස් වියැති දරුවා සහ දින පහළොවක් වියැති බිලිඳු දරුවා, බාල දියණිය සහ ඇයගේ මාස අටක දරුවා සුනාමි ව්‍යාසනයෙන් සෝමදාසට අහිමි විය.

තමාගේ වෙර වීරියෙන් ජීවිතය සරි කර ගනිමින් කාටත් බරක් නොවී ජීවිතය ගෙන ගිය සෝමදාස අද වන විට ජීවත් වන්නේ සුනාමි ගම්මානයක පිහිටි නිවසකයි.

එම සුනාමි ගම්මානයේ ජීවත් වන්නේ කුඩාවැල්ල ප්‍රදේශයේ සිට ආපදාවට පත් පවුල් කීපයකි.

Image caption සෝමදාස සුනාමියෙන් පසු ජීවත් වන නිවස

"මේ පැත්තේ දොස්තර කෙනෙක් හිටියා. එයාගේ පවුල ගහගෙන ගියා. ඒ දුකට එයා වහ බිව්වා. ඒ එක එක්කෙනොගේ දරා ගැනීමේ හැකියාවනේ. මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ. දැන් කතා කරනකොට පොඩි පැටලිල්ලකුත් එනවා. මම හිත හදාගත්තා. හිත හයිය කරගත්තා. මට ආයෙම රස්සාව හම්බ උනා. ඒත් මම ගියේ නැහැ. මම කාට හම්බකරන්නද. දැන් මම තී‍්‍රවිල් එකක් එළවනවා. පවුලේ පස්දෙනෙක් නැති වෙලත් අදටත් මම හිතේ හයියෙන් ජීවත් වෙනවා."

සුනාමිය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් නිවාස 1800 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය.

තවත් නිවාස 2100 කට පමණ අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

විවිධ ව්‍යාපෘති හරහා නිවාස 3000 පමණ ඉදි කොට සුනාමියෙන් අවතැන් වූ පවුල් අතරේ බෙදා දී තිබේ.

ශ්‍රී ලංකාව පුරා සුනාමි ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 40,000කට ආසන්නයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර