ජීවිතයෙන් බැට කන උතුරේ යුද වැන්දඹුවන්

Image copyright Getty
Image caption හතළිස් පස් වියැති එවින් සෙල්වි යාපනයේ වෙසෙන යුද වැන්දඹුවක්

යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇති නමුත් යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත් කාන්තාවන් හතළිස් දෙදහසකගේ ජීවන තත්වය ඉහළ ගොස් නොමැති බව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් පවසයි.

උතුරු පළාතේ පවතින නිලධාරි හිඟය, මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා අසරණභාවයට පත් ඉහත කී කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට නොහැකි වී ඇති බවයි පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වැන්දඹු කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට පළාත් සභාව තුළ මුදල් නොමැති බවත් මේ වසරේ එම කටයුතු සඳහා අවශ්‍යව තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ලබා ගත්තේ උතුරු පළාත් සභාවට වාහන මිලට ගැනීමට තිබූ මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් ප්‍රතිපාදන නොලැබීමට අමතරව වැන්දඹු කාන්තාවන්ගේ ගැටළු පිළිබඳ සොයා බලා විසඳුම් ලබා දීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්ද උතුරු පළාත් සභාව තුළ නොමැති බව කී සත්‍යලිංගම් පළාත් අමාත්‍යවරයා එවැනි නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමට මේ දක්වා පිළිතුරු නොමැති බවද කියා සිටියේය.

යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට බවට පත්ව සිටින පිරිසෙන් බහුතරයක් ආබාධිත හෝ විකලාංග තත්ත්වයට පත්ව සිටින බැවින් ඔවුන්ට කවරෙකුගේ හෝ රැකවරණයක් ආධාරයක් අවශ්‍යව ඇති බව පෙන්වාදෙන උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා නමුත් මෙම කාන්තාවන්ගෙන් බහුතරයක් හුදකලාව ජීවත් වන බවත් පැවසීය.

කිසිදු ආදායමක් නොමැති යුද වැන්දඹුවන්ට ඇතැම් විට ජීවත් වීම පිණිස කුමන හෝ රැකියාවක් කිරීමට සිදුව ඇති වගද,බොහෝ විට පවුලේ සියලුම කටයුතු එම කාන්තාවන් අතින්ම සිදු වන බවද කී පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී සත්‍යලිංගම් මෙම තත්ත්වය ලබන වසරේදී හෝ වෙනස් කිරීමට උත්සහ ගත යුතු බවට රජයෙන් ඉල්ලීමක් කොට ඇතැයිද කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර