නාවික හමුදාව ඉඩම් පවරා ගැනීමට එරෙහිව මුලතිව්හි මහජන විරෝධතා

අලුතින් නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා යැයි පවසමින් මුලතිවු වැසියන්ට අයත් ඉඩම් අක්කර හයසිය දාහතක් අත්පත් කරගැනීමට නිලධාරීන් පිරිසක් සූදානම් වූ අවස්ථාවේදී මුලතිවු ඉඩම් හිමියෝ ඊට විරෝධයපළ කළහ.

මුලතිවු වැසියන්ගෙන් ඉඩම් ලබාගැනීම පිණිස මූලික සාකච්ඡාවක් පැවැත්වීමට අතිරේක ඉඩම් ලේකම්වරයෙකු කොළඹ සිට එහි ගොස් ඇති අතර එම සාකච්ඡාවට ඉඩම් අයිතිකරුවන්ගෙන් හතළිස් අට දෙනෙකු පමණ සහභාගි වී ඇත.

ඔවුන් සියලු දෙනාම අලුතින් ඉදිකරණු ලබන නාවික හමුදා කඳවුර සඳහා තම ඉඩම් ලබා දීමට කිසිසේත්ම සූදානම් නැතැයි එම නිලධාරීන්ට ප්‍රකාශ කොට ඇති අතර එම විරෝධය පිළිබඳව ලියවිල්ලක්ද මුලතිවු ප්‍රාදේශීය ලේකම්වරයාට වෙත බාර දී තිබේ.

නාවික හමුදා කඳවුර ඉදිකිරීම පිණිස නිලධාරීන් ඉල්ලා සිටින්නේ යුද සමයේ දී ආරක්ෂක අංශ විසින් ප්‍රයෝජනයට ගෙන සාමය උදාවීමෙන් පසුව මුලතිවු ජනතාවට බාර දුන් ඔවුන්ටම අයත් බලපත්‍ර සහිත ඉඩම් බව මුලතිවු වැසියෝ කියා සිටිති.

මෙම සාකච්ඡාවට සහභාගිවූ මුලතිවු, වට්ටුවාල් පළාතේ ඉඩම් හිමියෙකු වන උතුරු පළාත් සභාවේ උප සභාපති ඇන්ටනි ජෙගනාදන් කියා සිටියේ, නාවික හමුදා කඳවුර ඉදිකිරීමට ඉල්ලා සිටින භූමි ප්‍රදේශය මුලතිවු, වට්ටුවාල් පාලමේ සිට පුදුකුඩීඉරිප්පු නගරය දක්වාත්, අනෙක් පසින් නන්දිකඩාල් කලපුවේ සිට මුහුදු වෙරල දක්වාත් දිවෙන විශාල පළාතක් බවයි.

නාවික හමුදා කඳවුරක් ඉදිකිරීමට මේ තරම් විශාල භූමියක් අනවශ්‍ය බව කියමින් ඉඩම් හිමියෝ තර්ක කළ අවස්ථාවේ දී 'යෝජිත ඉඩම් සියල්ලම ලබා ගන්නවාද යන්න තවමත් නිශ්චය වශයෙන් තීරණය කොට නැති නමුත් රජයේ අවශ්‍යතාවයන් මත ඉඩම් ලබාගන්නේ නම් අයිතිකරුවන් අකමැති වුවත් ඒවා ලබාගත හැකි බව' නිලධාරීන් කියා සිටි බවයි ජෙගනාදන් කියා සිටියේ.

මුලතිවු පළාතේ මෙම භූමි භාගය සංචාරක කර්මාන්තය අතින් ඉතා වැදගත්වීමත්, අවසන් යුද ගැටුම් පැවතියේ මෙම පළාතේ බැවින් ඊට ලැබුණු ඓතිහාසික භාවය මත ඉඩම්වලට වටිනාකම ඉහලයාමත් යන කරුණු මත කිසියම් පිරිසක් ඉඩම් හිමියන් රවටා මෙම ඉඩම් වංචනික ලෙස අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේද යන්න සැක සහිත බවත් ඉඩම් හිමියන් විසින් නිලධාරීන්ට පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් විකල්ප ඉඩම් ලබාගැනීමක් මත හෝ වන්දි ලබාගැනීමේ අරමුණක් මත තම ඉඩම් නාවික හමුදා කඳවුරක් ඉදි කිරීමට ලබා දිය නොහැකි බව තමන් තීරණය කොට ඇති බවයි මුලතිවු වැසියෝ පවසන්නේ.

මෙම ඉඩම් අත්පත් කරගැනීම පිළිබදව තොරතුරු දැනගැනීමට නාවික හමුදා මාධ්‍ය මධ්‍යස්ථානයත්,යුද හමුදා මාධ්‍ය මධ්‍යස්ථානයත් ඇමතූ අවස්ථාවේදී එහි නිලධාරීන් කියා සිටියේ මේ ගැන යම් තොරතුරක් දැන ගත යුතු වන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් බවයි.