ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුතුරාජවෙල පිපිරීමෙන් 'ජන ජීවිතය අනතුරේ'

ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න - හලාවත සිට

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නළයක් පුපුරා යෑම හේතුවෙන් ඇති වූ තෙල් කාන්දුව ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කොට ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

සිකුරාදා තෙල් නළය පිපිරීමෙන් කාන්දු වූ තෙල් උස්වැටකෙයියාව ලූනාව මෝය ප්‍රදේශයේ පුරා පැතිර යෑම හේතුවෙන් ධීවර කර්මාන්තය සම්පුර්ණයෙන් අඩාල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

‘දවස් තුනක් වෙනවා අපිට ගෙදර කෑමක් හදලා කන්න බෑ. රෑට ගෙදර ගිහින් නිදා ගන්න බෑ. හුස්ම ගන්න බෑ, නාස් පුඩු හිර වෙනවා’ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කියා සිටියාය.

අයහපත් පාරිසරික බලපෑම හමුවේ මේ වන විටත් ඇතැම් පුද්ගලයන් රෝගී තත්වයට පත් වී ඇති බවත් ප්‍රදේශවාසීහු කියා සිටිති.

තෙල් කාන්දුව මේ වන විට නතර කර ඇති නමුත් උස්වැටකෙයියාව ලුනාව මෝය ප්‍රදේශයට පැමිණි ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක්.

නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇති වූ බව පවසන පරිසරවේදීන් ඒ සඳහා ඛනිජ තෙල් සංස්ථාව වගකිවයුතු බවයි කියා සිටියේ.

ජෛව විවිධත්ව සංරක්ෂණ සහ පර්යේෂණ කවයේ සභාපති සුපුන් ලහිරු ප්‍රකාශ් සඳහන් කළේ තෙල් කාන්දුවෙන් මුතුරාජවෙල තෙත් බිමටද බරපතළ හානි සිදු විය හැකි බවයි.