තාජුදීන් 'ඝාතනය': මේ කරුණු දැන සිටියාද?

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ගේ ඝාතනය සම්බන්ධයෙන් 'තිස්ස' නමින් හැඳින්වෙන තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තවම තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

තවම සිදු කෙරෙන්නේ තාජුදීන් ගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් අණින් සිදු කෙරෙන මරණ පරීක්ෂණ බවත්, එම පරීක්ෂණවලින් හෙළි කර ගන්නා තොරතුරු අනුව තාජුදීන් ගේ මරණයට හේතුව කුමක්දැයි මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දී තීන්දු කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම අධිකරණ තීන්දුව නුදුරු දිනකදී ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

''පරීක්ෂණ බොහොමයකට අදාළ විමර්ශන මේ වනවිට අවසන්ව තිබෙනවා. දැනට සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය, මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ගේ පරික්ෂණ හා ඉන් හෙළි කර ගැනුණු තොරතුරු ආදී සියල්ලම විමසා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මේ තීන්දුවට එළැඹෙන්නේ.''

ප්‍රගතිය

තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් පෙර සිදු කෙරුණු පරීක්ෂණවල යම් යම් අඩුපාඩු ඇද්දැයි යන්න පිළිබඳව සොයා බලන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කොට ඇතැයි ද සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.

ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන 'තිස්ස' නමැත්තාට රටින් පිට වීම තහනම් කෙරෙන අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

එම මාධ්‍ය වාර්තා පිළිබඳ තොරතුරක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ 2012 මැයි 17 වැනි දා මිය ගොස් සිටි වසීම් තාජුදීන් ගේ මරණය සැක සහිත මරණයක් බැවින් යුක්තිය ඉෂ්ට කිරීම සඳහා එම පරීක්ෂණ පැවැත්වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා තිබිණි.

'තිස්ස'

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන නඩුව ඇතුළු නඩු විභාග ගණනාවක අධිකරණමය කටයුතු ජනවාරි මාසයේ දී ආරම්භ කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මේ අතර පවසයි.

''මේ දේවල්වල පරීක්ෂණ ඉවර වෙලා අධිකරණ ක්‍රියාමාර්ග යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දැන් සියල්ල සූදානම්. ඒ නිසයි ඔවුන් එක එක කලබල කරන්න හදන්නේ. මේවා මෙහෙයවන විදිය, එහි ප්‍රධානීන් කවුදැයි කියන දේ අපිට වාර්තා වෙලා තියෙනවා," අමාත්‍යවරයා සඳහන් කළේ පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.

"තාජුදීන්ගේ නඩුවේ පරීක්ෂණ දැන් සම්පූර්ණයෙන් ඉවරයි. ඒකෙ සඳහන් වෙන ඩිෆෙන්ඩර් රථය කාගෙද, තිස්ස කියන්නේ කවුද, කාගේ රියැදුරුද කියලා හැමෝම දන්නවා. මේ ගැන රාජපක්ෂ පවුලටම චෝදනා එල්ල වෙනවා.''

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට එල්ල කරන චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව බීබීසීයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබිණි.

'රාජපක්ෂ පවුල'

''ඒ කාලේ පාරේ බල්ලෙක් මැරුණත් ඇඟිල්ල දිගු කළේ අපටයි. යම් කිසි කෙනකුට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් එයට සාධාරණය ඉටු විය යුතුයි. එසේ නොමැතිව එම සිදුවීම දේශපාලනීකරණය කිරීමෙන් වෙන්නේ එම සිදුවීමට මුහුණ පෑ තැනැත්තාට හා එම පවුලටම සිදු වන්නේ අසාධාරණයක්.''

යම් සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට සාධාරණය ඉටු කළ යුතු බවත් අද සිදු වන්නේ විමර්ශනයක් සිදු කිරීමටත් ප්‍රථම ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට ඇඟිල්ල දිගු කිරීම බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

ඒ ආකාරයට කටයුතු කිරීමෙන් කිසි දිනෙක වසීම් තාජුදීන්ට සාධාරණය ඉටු නොවනු ඇති බවත් නාමල් රාජපක්ෂ එහිදී අවධාරණය කළේය.

''යම් අසාධාරණයක් සිදුව ඇත්නම් කළ යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයක් සිදු කොට ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමයි. එසේ නොමැතිව රාජපක්ෂ පවුලට හෝ නාමල් රාජපක්ෂ දෙසට ඇඟිල්ල දිගු කිරීමෙන් සාධාරණය ඉටු වන්නේ නෑ''

ආණ්ඩුවේ ප්‍රතිචාර

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මීට ඉහතදී ද පවසා තිබුණේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි සිදු කළ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් තිදෙනකු රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුදීන්ගේ මරණය සිදු කිරීමට සම්බන්ධ බවයි.

පසුව එම මරණය අනතුරකින් සිදු වූවක් ලෙස පෙනෙන්නට සලස්වා තිබූ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී සඳහන් කළේ.

අමාත්‍යවරයා ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් ඉකුත් දිනවල කියා සිටියේ තාජුදීන්ගේ ඝාතනය සිදු කරන ආකාරය, ඔහුට පහර දෙන ආකාරය ඇතුළත් 'දේශපාලන ලෝකය උඩු යටිකුරු කරන' ආරක්ෂක කැමරා (CCTV)දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, මේ සිදුවීමට හවුල් ප්‍රභූ පවුලක සාමාජිකයන් ළඟදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය.

එහෙත් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරන ආකාරයේ ආරක්ෂක කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නැතැයි එම දෙපාර්තමේන්තුව එම ප්‍රකාශයට පිළිතුරු ලෙස සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පවසා තිබුණේ එවැනි ආකාරයේ කැමරා දර්ශන තිබුණේ නම් තාජුදීන්ගේ මරණය ඝාතනයක් බවට පහසුවෙන් ඔප්පු කරන්නට හැකියාව ලැබෙන බවයි.

CCTV

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයේ ආරක්ෂක කැමරා දර්ශන තිබේ නම් ඒවා නොපමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා මෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබිණි.

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවුණු 'තිස්ස' නමින් හැඳින්වෙන තැනැත්තා සම්බන්ධයෙන් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය 2012 වසරේ දී තොරතුරු හෙළි කර තිබිණි.

2012 සැප්තැම්බර් 27 වැනි දින ඉඹුල්ගොඩ දී සිදු වූ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගේ මරණ සම්බන්ධ වගකීම ඉන් බැර කර තිබුණේ තිස්ස ගේ නමටය.

යතුරුපැදි අනතුරක් බව පෙන්වමින් අන්තරයේ ක්‍රියාකාරීන් දෙදෙනාම මිලිංග ප්‍රභාත් සංජීව හෙවත් 'රේල් පාරේ සංජීව' නමැත්තා සමඟ එක්ව ඝාතනය කළ බවට තිස්සට එදා චෝදනා එල්ල විය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ගේ පුත් මාලක සිල්වාට ඔඩෙල් සාප්පු සංකීර්ණ රථ ගාලේ දී පහර දීම හා විනිසුරු මංජුල තිලකරත්නට ගල්කිස්සේ දී කළ පහර දීම සම්බන්ධයෙන් ද තිස්සට චෝදනා නඟා තිබිණි.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි දීමට තමන් කැමැති බව තාජුදීන්ගේ පවුලේ ඥාතීන් වෙත පවසා සිටි තැනැත්තකු මේ වන විට අතුරුදහන් ව ඇතැයි 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ පසුගිය 28 වැනිදා කලාපයේ පළ වූ පුවතක සඳහන් වෙයි.

'අතුරුදහන්'

ඔහු කවර හෝ හේතුවක් නිසා තම අදහස වෙනස් කර ගන්නට ඇතැයි සිතිය හැකි බව හෝ සිද්ධියට සම්බන්ධ යම් පිරිසක් ඔහු අතුරුදහන් කරවන්නට ඇතැයි සිතිය හැකි බව මේ පිළිබඳ අදහස් දක්වන එම පුවත්පතට සම්බන්ධ මාධ්‍යවේදියෙක් පවසා සිටියේ ය.

හිටපු ජනාධිපති ආර්යාව, ශිරන්ති රාජපක්ෂගේ රියැදුරකු වශයෙන් ද ජනාධිපති ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස ද 'තිස්ස' කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකාවේ තවත් මුද්‍රිත හා වෙබ් මාධ්‍ය තොරතුරු හෙළිදරව් කර තිබිණි.

ඔහු මේ වනවිට උතුරු පළාතේ හමුදා කඳවුරක සේවය කරන බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් ව තිබිණි.

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් 'තිස්ස' නමින් හැඳින්වෙන, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියැදුරකු වශයෙන් ද, ජනාධිපති ආරක්ෂක අංශයේ ද සිටි තැනැත්තකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන්නේ යයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන බව 'දිනමිණ' පුවත් පත අනාවරණය කර තිබිණි.

තාජුදීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කීපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කොට ඇත්තේ 'තිස්සට' සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බව යැයි ද එහි පළ වූ වාර්තාවේ සඳහන් ව තිබිණි.

මාධ්‍ය වාර්තා

තාජුදීන්ගේ වාහනය ගිනි ගෙන දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩි‍ෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු, ප්‍රදේශවාසීන් තාජුදීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි එම වාර්තාවේ සඳහන් විය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා හමුවේ රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පැමිණිල්ල පසුගිය දා කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තා ගොනු කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, විමර්ශනවලදී සොයා ගත් නාරාහේන්පිට හා කිරුලපන ප්‍රදේශවලට අයත්ආරක්ෂක කැමරාවලින් ලබාගත් වීඩියෝ දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණික ක්‍රමවේද අධ්‍යයන අංශය වෙත යොමු කළ බව කියා සිටියේ ය.

එම වීඩියෝ දර්ශනවලින් පැහැදිලි රූප රාමු ලබා ගැනීමට එම අංශය ක්‍රියා කරමින් සිටින බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

පැය හතරක් පුරාවට පටි ගත වූ දර්ශන ඇතුළත් වීඩියෝ පට 4 ක්‌ මෙහිදී විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව ද පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තාජුදීන් පිළිස්‌සී මියගිය මෝටර් රථයට සමාන රථයක්‌ අවස්‌ථා දෙකකදී එහි පටිගතව ඇති බවත්, එම රථය ගමන් කරන විටදී ඒ පිටුපසින් විවිධ වර්ගයේ තවත් වාහන කීපයක්‌ එක විට ගමන් කර ඇති බවට එම දර්ශනවල ඇතුළත් වන බවත් පවසා සිටියේය.

වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් කැඳවීමට නියමිත විශ්ලේෂණ වාර්තාවලින් අනතුරුව එම වාහනයේ අංකයත්, එම වාහනයේ හා අනෙක්‌ වාහනවල ගමන් කළ පුද්ගලයන් ගැනත් පැහැදිලිව දැන හඳුනා ගැනීමට හැකි බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි.

විශේෂඥ වාර්තා

මෙම ආරක්ෂක කැමරා දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත සති දෙකකින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

වසීම් තාජුඞීන් ගේ මෘත දේහය ගොඩ ගැනුණු පසුගිය සැප්තැම්බර් 15 වැනි දා ලබා ගත් සිරුරු කොටස්‌, මිය ගිය අය ගේ මවගේ ඩීඑන්ඒ සාම්පල හා සැසඳෙන බවට 'ජින්ටෙක්‌' ආයතනය දැනුම්දී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්, රිය අනතුර සිදු වන අවස්ථාවේදී වාහනය පදවා නොමැති බවත්, ඔහුට පහරදී දුර්වල කිරීමෙන් පසු සිරුර වම් මගී අසුනේ තබා අනතුර වීමට සලස්වා තිබෙන බවත්, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත ලිඛිත ව දැනුම් දෙන්නේ පසුගිය දෙසැම්බර් 3 වැනිදායි.

තාජුදීන්ගේ මරණයට හේතුව හා අදාළ කරුණු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් ප්‍රමුඛ අධිකරණ වෛද්‍ය මණ්ඩලයේ නිරීක්‍ෂණ සහ මතය සහිත සම්පූර්ණ වාර්තාව එහිදී අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

වෛද්‍ය පරීක්ෂණ

එම පරීක්‍ෂණ වාර්තා අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව තාජුදීන්ගේ මරණයට සම්බන්ධ තීන්දුව තීරණය ප්‍රකාශයට පත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ඉන් අනතුරුවයි.

දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා පළමු පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්ට නිවැරැදි ක්‍රමවේදයකින් මෘත දේහයේ කොටස්‌ භාරදී නොමැති බව ද, පරීක්‍ෂණයට ලබා ගෙන තිබූ එම මෘත දේහ කොටස්‌ මේ වන විට සොයා ගැනීමට නොහැකිව ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ එහිදී කියා සිටියේ ය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් මෙතෙක් විභාග කටයුතු සිදු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් උසස් වීමක් සමඟ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මාතර දිසා විනිසුරුවරයා ලෙස මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කරන්නේ මේ අතරතුරයි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඇතුළු අධිකරණ විනිසුරුවරුන් 117 දෙනකුට 2016 ජනවාරි 01 වැනිදා සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය පවසා තිබිණි.

විනිසුරු මාරුවීම්

සාමාන්‍ය විනිසුරු මාරුවිමේ ක්‍රමවේදය යටතේ නිශාන්ත පීරිස් මහතාට මේ මාරුවීම ලැබී තිබීමත්, විනිසුරු මාරුවීම් පිළිබද සම්පූර්ණ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ අධිකරණ සේවා කොමිසමට ලැබී ඇති නිසාත් මේ පිළිබඳ කළ හැක්කක් නොවන බව පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී ද අදහසක් ලෙස මතු ව තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්ට මාතර දිසා අධිකරණය වෙත 2016 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දුන් ස්ථාන මාරුව වසරක කාලයකින් අත්හිටවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කරන්නේ ඉන් පසුවයි.

ස්ථාන මාරුවීම අත්හිටුවන ලද බව සඳහන් ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත පසුගිය දෙසැම්බර් මස 29 වැනි දා යවා තිබිණි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 600ක මුදල් වංචාව, රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතන නඩුව, ඇවන්ගාඩ් නඩුව ඇතුළු ආන්දෝලනාත්මක නඩු රැසක් විභාග වූයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ඉදිරියේ ය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය සම්බන්ධ මීළඟ නඩු විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනවාරි විසි වැනි දිනයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර