ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙක් 'සිරියාවට ගිහින්'

Image copyright AFP
Image caption සිරියාව බලා ගිය ශ්‍රී ලාංකිකයන් අතරින් පිරිසක් අයිසිස් සංවිධානයට බැඳී ඇති බව විශ්වාස කෙරේ

ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති.

දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක් වෙනත් රටවල වන්දනා ගමන්වල නිරත වන බව පවසමින් මෙසේ සිරියාවට ගොස් තිබෙන බවයි, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.

"දැනට තියන දත්තයන් අනුව තිස් හය දෙනෙක් පමණ - පවුල්වල උදවියත් ළමයිනුත් එක්ක තමයි තිස් හය දෙනා වෙන්නේ - සිරියාවට ගොස් ඇති බවට වාර්තාවක් ලැබිල තියෙනවා," ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ඔවුන්ගෙන් පිරිසක් අයිඑස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට බැඳී ඇතැයි සැලකෙන බවත් ඔහු පැවසීය.

Image copyright b
Image caption 'දැනට තියන දත්තයන් අනුව තිස් හය දෙනෙක් පමණ - පවුල්වල උදවියත් ළමයිනුත් එක්ක තමයි තිස් හය දෙනා වෙන්නේ - සිරියාවට ගොස් ඇති බවට වාර්තාවක් ලැබිල තියෙනවා'

"සියලුදෙනාම නෙවෙයි. තිස් හය දෙනාම නෙවෙයි. ඉන් කිහිපදෙනෙක් තමයි අයිඑස් සංවිධානයට බැඳුන බව ආරංචි."

මේ පිරිස ශ්‍රී ලංකාවෙන් පිටත්වූයේ කවදාද, ඔවුන් පිටත්වූයේ එක්වරද, වෙන වෙනමද යනාදී විස්තර මේ මොහොතේ තමන් සතුව නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

කැරලිකරුවන් සමඟ සම්බන්ධවීම පිණිස ශ්‍රී ලාංකිකයන් සිරියාවට යාම සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බවයි, පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ අතර බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

පවුල් නමයකට අයත් ශ්‍රී ලාංකිකයන් 45 කට ආසන්න පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳීම පිණිස ගැටුම් පවතින සිරියාවට ගොස් ඇතැයි මීට ඉහතදී සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණි.

ගලේවෙල වාසී 37 හැවිරිදි අබු ශූරා ශෛලානි පසුගිය ජුලි මාසයේ සිරියාවේ සටන්වලදී මියගිය බවත් මීට ඉහතදී ජනමාධ්‍ය වාර්තා කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර