ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රනිල්ගෙන් තුන් අවුරුදු සැලැස්මක්

නව වසරේ ආණ්ඩුවේ ඉලක්කය රට තුල ආර්ථික හා සමාජීය දියුණුවක් ඇති කිරීම බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ 2016 වසර සඳහා තම රාජකාරි අරම්භ කළ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

"මෙම වසරේදි අප තවත් අලුත් ගමනක් කරා පියවර තබනවා. අපේ සියලුම දේශපාලන වැඩකටයුතු ආරම්භ කළ පසු, අප ආර්ථික සහ සමාජීය දියුණුව ඇති කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. ජනතාවගේ ආදායම් වැඩි කිරීම, තරුණ තරුණියන්ට රැකියා ලබා දීම, අලුත් ආර්ථිකයක් රටට එකතු කිරීම, ශ්‍රී ලංකාව ලොව දියුණු රටක් බවට පත් කර දුප්පත්කම නැති කිරීම, අපේ බලාපොරොත්තුවයි" අගමැතිවරයා ප්‍රකාශ කළේය.

වසර තුනක කාලයක් ඇතුළත දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ මෙරට සමාජ සහ ආර්ථික දියුණුවක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සුදානම් බවයි අගමැතිවරයා අරලිය ගහ මැදුරේදී සිය විශේෂ ප්‍රකාශය කරමින් පැවසුවේ.

"අද අප ඇරඹුවේ ඔබේ නිවසේ ආර්ථිකයට බලපාන ගමනක්. ඔබට දියුණුවක් ඇති කරන ගමනක්"

ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ ඇතමුන් විවේචන ඉදිරිපත් කලත් එම විවේචන වලට සිය ගමන වැළැක්විය නොහැකි බවද අගමැතිවරයා සඳහන් කළේය.

"අප ඇරඹු ගමන සම්බන්ධයෙන් සමහරුන් විවේචන ඉදිරිපත් කරාවි. දොස් කියාවි. ඒත් අපේ ගමන නැවැත්වීමට කිසිවකුටත් හැකියාවක් නැහැ. යහපාලන ආණ්ඩුවේ ගමන පිළිබඳ දොස් කියන, විවේචනය කරන සියලු දෙනාම කාලයත් සමග අපේ ගමනට එකතු කර ගෙන ඉතිහාසයේ කිසි දිනෙක නොවූ සංවර්ධනයක් ශ්‍රී ලංකාවට ලබා දීමට අප කටයුතු කරනවා"

මේ අතර අගමැතිවරයාගේ සංකල්පයක් අනුව පැවැත්වෙන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව මෙමස 7 හා 8 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට නියමිතයි.

ඉහත කී සමුළුව සඳහා ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් සහ විද්වතුන් රැසක් එක්වීමට නියමිතයි.