උතුරු මුහුදේ ධීවර ගැටුමක්

මුලතිව් මුහුදේ දී උතුරේ ධීවරයෙකුට අයත් බෝට්ටුවකට අලාභ හානි සිදු කළ බව පැවසෙන ඉන්දීය ධීවරයින් අට දෙනෙකු සහ ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රාවක් අත් අඩංගුවට ගත් ධීවරයෝ ඔවුන්ව මුලතිවු පොලීසිය වෙත බාරදී තිබේ.

බෝට්ටුවට අලාභ හානි සිදු වූ මුලතිව් පළාතේ ධීවරයෙකු වන සේගර් රංජිත් නැමැත්තා පැවසුවේ මහ මුහුද මැද දී තම බෝට්ටුව අලාභ හානි සිදු කළ ඉන්දීය ධීවරයින් පලා යන අවස්ථාවේ දී සහෝදර ධීවරයින් පිරිසක් ඔවුන්ව ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගත් බවයි.

මුලතිව් ධීවරයින් විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් අට දෙනා සහ ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රාව මුලතිව් පොලීසියට බාරදුන් බව පැවසූ සේගර් රංජිත් ඉන්දීය ධීවරයින් විසින් තම බෝට්ටුවට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ අලාභයක්ද, දැල් ආම්පන්න මුහුදට ඇද දැමීමෙන් තවත් රුපියල් ලක්ෂ එකහමාරක පමණ අලාභයක්ද සිදු කළ බවද පැවසීය.

මෙම අලාභ හානි වෙනුවෙන් යම් සාධාරණ වන්දියක් ලබා දීමට මුලතිව් දිසාපතිවරිය තමන්ටත් තම ධීවර සංගමයටත් එකඟ වූ බවද සේගර් රංජිත් සඳහන් කොට සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඉන්දීය ධීවරයින් පිරිස ලාංකික ධීවරයින් විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී බවයි.

පොලීසිය බාරයේ සිටින ඉන්දීය ධීවරයින් අට දෙනා පස් වෙනිදා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරණ බවත්, ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදාව බාරයේ ඇති බවත් කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ඉන්දීය ධීවරයින්ට එල්ල වන චෝදනා වන්නේ අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට ඇතුලු වීම, ධීවරයින්ට පහර දීම සහ අලාභ හානි සිදු කිරීම යන චෝදනා බවද කියා සිටියේය.