පළමු නිදහස් ගිලන් රථ සේවාව උතුරේ

උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ජනවාරි හය වෙනිදා සිට උතුරේ නොමිලයේ ගිලන් රථ සේවාවක් ආරම්භ කරයි.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙවැනි සේවාවක් ආරම්භ වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

උතුරු පළාතේ කිළිනොච්චිය රෝහල කේන්ද්‍රස්ථානය කොට මෙම ගිලන් රථ සේවාව පවත්වා ගෙන යන අතර රෝගියෙකුට හදිසි දුරකතන ඇමතුමක් ලබා දී ගිලන් රථ සේවාව නොමිලයේ ලබාගත හැක.

එම අවස්ථාවේදී ලඟම රෝහලක ඇති ගිලන් රථය රෝගියාගේ අවශ්‍යතාව වෙනුවෙන් ළගා වෙයි.

මේ අවස්තාවේදී ගිලන් රථය හිස් වන රෝහලේ ගිලන් රථ අවශ්‍යතාවයන් යාබද රෝහල මගින් ආවරණය කරණ ක්‍රමයක් සකස් කොට තිබේ.

උතුරු පළාතේ රජයේ රෝහල් තුළ දැනට තිබෙන ගිලන් රථ උපයෝගී කර ගෙන මෙම සේවාව ආරම්භ කළ බව කී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් පුළුල් කරණ බවද සඳහන් කළේය.

නොමිලයේ ගිලන් රථ සේවාව සැපයීමේදී, මාර්ග අනතුරු, හා ගැබිණි මවුවරුන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙන බව කී උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන් නොමැති මෙන්ම දුෂ්කර පළාත්වල රෝගීන්ටද ප්‍රමුඛතාව ලබා දෙන බව පැවසුවේය.

උතුරු පළාතේ රජයේ රෝහල් විසි නවයක එකම වෛද්‍යවරයකු හෝ සේවයේ නිරතව නොමැති නිසා මහජනතාව වෙනුවෙන් ආරම්භ කළ මෙම ගිලන් රථ සේවාව උතුරේ වැසියන්ට විශාල ප්‍රයෝජනයක් වනු ඇතැයිද වෛද්‍ය පී. සත්‍යලිංගම් විශ්වාසය පල කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර