මත්තල වී ගබඩාව ඉවත් කරනවා -කැබිනට් ඇමතිවරයෙක්

මේ වසරේ මාර්තු මාසය වන විට මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩාව ඉවත් කර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම ආරම්භ කරන බවත් එය ගුවන් යානා පැමිණෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට, රන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමට වත්මන් රජය ගත් පියවරට ප්‍රදේශවාසීන්ගේ විරෝධය මතු විය.

චමල් රාජපක්ෂ

රජයේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද දැන් එක් වී ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුර චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබා දීමට ආණ්ඩුව තීරණය කළ බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.

‘අද මම සතුටු වෙනවා චමල් රාජපක්ෂ මැතිතුමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න මේ රජයේ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියන්න එතුමා එකතු වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න චමල් රාජපක්ෂ මැතිතුමත් මමත් කටයුතු කරනවා. අපිට ඕන නෑ වෙන කාටවත් බලයක් දෙන්න අපිට ඕන නෑ මේ ආණ්ඩුව කඩන්න. අපිට ඕන නෑ මේ පක්ෂය කඩන්න. අපිට ඕන අනාගතයේ දී අපේම ආණ්ඩුවක් හදා ගන්න. අපේ ඉලක්කය 2020 ඊළග මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ගැනීම.’ ධීවර ඇමතිවරයා පැවසීය.

එමෙන්ම මේ රජය යටතේ කිසිසේත්ම රට බෙදීමක් සිදු නොවන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.