ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ගිවිසුම් අටක්

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් තහවුරු කරමින් දෙරට අතර ගිවිසුම් අටකට අද (05) අත්සන් තැබුණි.

මෙම ගිවිසුම්වලට අත්සන් තැබුණේ දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අවස්ථාවේදී යි.

සාකච්ඡාවලින් අනතුරුව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ පකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය තුළින් දෙරට අතර අතීතයේ සිට පැවතෙන මිතුදම තවදුරටත් ශක්තිමත් වන බවයි.

යුද්ධය

"ශ්‍රිලංකාවේ යුද්ධය පැවති අවස්ථාවේ දී ජාතික ආරක්ෂාව සඳහා පකිස්ථානය දැක්වූ දායකත්වය අපට කිසිවිටකත් අමතක කරන්න බැහැ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදීත් පකිස්ථානය දැක්වූ සහය අප අගය කරනවා" ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසීය.

පකිස්ථානය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබූ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව මතක් කර දුන් පකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් දෙරට අතර වෙළදාම ඩොලර් බිලියනයක ඉලක්කය දක්වා ඉහළ දැමිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහයෝගයක් ලෙස ශ්‍රී ලංකාවේ සීනි සහ සිමෙන්ති කර්මාන්තශාලාවක් පිහිටුවීමට තම රජය සුදානම් බවද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අරලියගහ මැදුරේ

මේ අතර අද සවස ශ්‍රී ලංකා-පකිස්ථාන ව්‍යාපාරික හමුවක් අරලිය ගහ මැදුරේ දී පකිස්ථාන හා ශ්‍රී ලංකා අගමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

එම උත්සවය ඇමතූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දේශපාලන වශයෙන් ශක්තිමත් සම්බන්ධයක් තිබෙන බව ප්‍රකාශ කල හැකි වුවත් ආර්ථික වශයෙන් එසේ ශක්තිමත් සම්බන්ධතාවක් ඇති බව ප්‍රකශ කළ නොහැකි බවයි.

පෞද්ගලික අංශය ඉදිරිපත් වී එය ඉදිරියට ගෙන යායුතු බවයි වික්‍රමසිංහ අගමැතිවරයා කියා සිටියේ.

හෙට උදෑසන පකිස්ථානු අගමැතිවරයා මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතයි.

අත්සන් තැබුණු ගිවිසුම්: ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර විද්‍යාව, තාක්ෂණය හා නව්‍යකරණ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම, පකිස්ථානයේ වෙළඳ සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය පිළිබද ගිවිසුම, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්‍ණාභරණ පර්යේෂණ පුහුණු ආයතනය හා පකිස්ථාන මෝස්තර හා නිර්මාණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ මුල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුම.